ඊශ්‍රායල වැසියන්ට සිවුවැනි එන්නත



'කොවිඩ් 19' වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ඊශ්‍රායල වැසියන්ට සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම ආරම්භ විය.

ඒ අනුව පළමුවෙන් මෙම සිවුවැනි එන්නත් මාත්‍රාව ලබා දෙන්නේ, එරට අවුරුදු 60 වැඩි බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජිකයන්ට බව සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඊශ්‍රායල වැසියන්ට ලැබෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නතය. පළමු සහ දෙවැනි මාත්‍රා ලබා දීමෙන් පසු ඊශ්‍රායලයේ යළි 'කොවිඩ් 19' හිස එසවූ බැවින්, 'ෆයිසර්' සමාගමේ නිර්දේශ අනුව, ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තෙවැනි බූස්ටර් එන්නතක් ලබා දීමට උනන්දු වූයේ පසුගිය අගෝස්තුවේය. එම අවස්ථාවේදී, ලොව පළමු වරට බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ද ඊශ්‍රායලයයි. ඒ වනවිට ඊශ්‍රායලයේ 'කොවිඩ් 19' ආසාදිතයන් යළි වැඩි වීමට පටන්ගෙන තිබුණේ 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙනි. ඊශ්‍රායලය 'බූස්ටර්' එන්නත් දීම ආරම්භ කිරීමෙන් පසු සෙසු රටවල් ද එය අනුගමනය කළේය.

සිවුවැනි මාත්‍රාවක් ලෙස තවත් 'ෆයිසර්' එන්නත් පළමුවෙන් ලැබෙන්නේ අවුරුදු 60 ට වැඩි බෝනොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ටය. මෙසේ සිවුවැනි එන්නතක් ලබා දීමට කටයුතු යෙදී ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය සැලකිල්ලට ගනිමිනි. ඊශ්‍රායල සමාජයෙන් ද 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තාවීම ආරම්භ වී ඇත

(රොයිටර්)


RECOMMEND POSTS