ඊශ්‍රායල අන්තර්වාර අගමැති යාර් ලපිඩ්



මත ගැටුම් හේතුවෙන් තම සන්ධාන රජය බිඳ වැටී ඇති බවත්, පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන යාර් ලපිඩ්ට අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීමට ද බෙනට් කටයුතු කළේය.

ඉදිරි දින කීපයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවනු ඇති බවත්, මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 25 වැනිදා පැවැත්වීමට නියමිත බවත් ධුරයෙන් ඉවත් වූ බෙනට් සහ නව අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස ධුරයට පත්වුණු යාර් ලපිඩ් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළහ.

සිවු වසරක් ඇතුළත ඊශ්‍රායලයේ පැවැත්වෙන පස්වැනි මහ මැතිවරණය වනු ඇත්තේ මෙය යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

50 හැවිරිදි නෆ්තාලි බෙනට්, සන්ධාන රජයක් පිහිටුවා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ යාර් ලපිඩ් සහ ඔහුගේ ‘වෙෂ් අටිඩ්’ පක්ෂය සමඟ එකඟත්වයක් ඇති කර ගැනීමෙනි. ඒ, 2021 වසරේදීය.

පළමුවෙන් තමන් අගමැති ධුරය හෙබවීමටත් පසුව, යාර් ලපිඩ් ට අගමැති ධුරය පිරිනැමීමටත් නෆ්තාලි බෙනට් එකඟ වී තිබුණි. ඒ අනුව,  අන්තර්වාර අග්‍රාමාත්‍ය ලෙස යාර් ලපිඩ් ට අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීම සිදුවිය.

ලබන මාසයේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ සංචාරයකට පැමිණෙනු ඇති අතර, බයිඩන් හමුවීම සහ සාකච්ඡා පැවැත්වීම සිදු කරනු ඇත්තේ නව අග්‍රාමාත්‍ය 58 හැවිරිදි ලපිඩ් ය. ජෝ බයිඩන්, ඇමෙරිකා ජනාධිපතිවරයා ලෙස ඊශ්‍රායලයේ සංචාරයට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

නෆ්තාලි බෙනට් සහ යාර් ලපිඩ් සාකච්ඡා පවත්වා සන්ධාන රජයක් පිහිටුවූයේ 2021 ජූනි මාසයේය. ඒ, වසර 12 ක් තිස්සේ බලයේ සිටි බෙන්ජමින් නෙදන්යාහුගේ පාලනය බිඳ දමමිනි.

නෆ්තාලි බෙනට් සහ යාර් ලපිඩ් සන්ධාන රජයක් පිහිටවූයේ දක්ෂිණාංශික මතධාරී දේශපාලන පක්ෂ සහ අරාබි දේශපාලන පක්ෂ හවුල් කර ගනිමිනි.

ආරම්භයේ පටන් මෙම පක්ෂ සමඟ මත ගැටුම් පැවැතිණි. කෙසේ නමුත් එම මත ගැටුම් උත්සන්න වී පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවීමේ තර්ජනයක් පෙන්නුම් කළ බැවින්, රජය විසිරුවා හැර යළි මහ මැතිවරණයකට යෑමට සිදුවිය.

බෙන්ජමින් නෙදන්යාහු දක්ෂිණාංශික මතධාරියෙකි. යළි දේශපාලන ගමනකට සූදානම් වන නෙදන්යාහු පවසා ඇත්තේ ඔක්තෝබරයේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී තමන් සහ තමන්ට සහාය දක්වන දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ශක්තිමත් රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවය.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් නෙදන්යාහුට එරෙහි නඩු විභාග පැවැත්වෙයි. දූෂණ චෝදනා එල්ල වුවත්, නෙදන්යාහු තරයේ එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS