ඊශ්‍රායලයේ සංචරණ සීමා ලිහිල් කෙරේ



කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන සාර්ථකව වීමත් සමඟ වයිරස වයාප්තිය පාලනය කර ගැනීමට සමත් වූ බැවින්, පනවා ඇති සංචරණ සීමා ඉවත් කරන බව ඊශ්‍රායල රජය පවසා තිබේ.

ඊශ්‍රායල දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය වූයේ ද කොරෝනා වසංගතය මධ්‍යයේය. ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සමඟ සම්බන්ධ වී, ඊශ්‍රායල වැසියන් වෙනුවෙන් කඩිනමින් ෆයිසර් එන්නත් මිලදී ගැනීමට මැදිහත් වී කටයුතු කළේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය. එසේ වුවත්, නෙදන්යාහුට ඇති ජනතා ප්‍රසාදය එයින් වර්ධනය වීමක් සිදු නොවිණි. සන්ධාන රජයක් පිහිටුවීමට විපක්ෂය කටයුතු කරන්නේ ඒ නිසාය.

මේ වනවිට ඊශ්‍රායලයේ වයස අවුරුදු 50 ඉක්මවු පුද්ගලයින්ගෙන් 90% කට ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකම ලැබී අවසන්ය. ලොව සාර්ථකම එන්නතක් ලෙස සැලකෙන්නේ ෆයිසර් එන්නතය. කෙසේ නමුත්, එන්නත සම්බන්ධයෙන් ද ගැටලු මතු වී ඇතැයි ඊශ්‍රායල වෛද්‍ය පර්යේෂකයෝ පවසති. ඒ, එන්නත් ලබා ගත් අතලොස්සක් හෘද රෝගවලට ගොදුරු වීම නිසාය.

මේ වසර ආරම්භයේ දි දෛනිකව ආසාදිතයින් 10,000 ක වාර්තා වු ඊශ්‍රායලයේ ඊයේ (2) දිනයේ වාර්තා වූයේ ආසාදිතයන් 4 ක් පමණක් යැයි ද පැවැසෙයි. ආසාදිතයන් සොයා අහඹු ලෙස සිදු කෙරන පී.සී.ආර්. පරීක්ෂණ කිසිදු ආකාරයකට අඩු කර නොමැති බව ද පැවැසෙයි.

ටෙල් අවීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS