ඊශ්‍රායලයෙන් ඇමෙරිකාවට විරෝධයක්



පලස්තීනුවන්ට සහාය දක්වමින්, ජෙරුසලමේ ඇමෙරිකන් කොන්සල් කාර්යාලයක් පිහිටුවීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පාලනය සූදානම් වෙයි. මෙය ඊශ්‍රායලයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ඇමෙරිකාව, ජෙරුසලමේ කොන්සල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන්නේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඉදිරියේ දී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පැහැදිලි විසඳුමක් සෙවීමටය.

බයිඩන්ට පෙර ජනාධිපති ධුරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප්, පලස්තීනය සමඟ කිසිදු සබඳතාවක් පැවැත් වූයේ නැත. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනිමින්, සෙසු රටවල විරෝධය මැද, ඇමෙරිකන් ඊශ්‍රායල තානාපති කාර්යාලය ටෙල් අවීව් නුවර සිට ජෙරුසලමට මාරු කළේ ට්‍රම්ප් පරිපාලනයයි. ඒ, ඊශ්‍රායලය සමඟ පවතින හිතවත්කම් ශක්තිමත් කරමින්ය. ට්‍රම්ප් පරිපාලනය සහ පලස්තීනුවන් අතර ඇයි හොඳයිකම් ඒ අනුව බිඳ වැටුණි.

වත්මන් ඊශ්‍රායල රජය වෙනුවෙන්, විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන යාර් ලුපිද් ඇමෙරිකාවට පෙන්වා දී ඇත්තේ, ජෙරුසලමේ කොන්සල් කාර්යාලයක් පිහිටුවීම, ඊශ්‍රායල රජය අසීරුතාවට පත් කිරීමක් බවත්, එමගින් රජය අස්ථාවර වීමේ අවදානමක් පවතින නිර්මාණය වනු ඇති බවත්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS