ඉරාන පුවත්පත්වලින් ප්‍රහාරකයාට පැසැසුම්



ඉස්ලාම් දහමට සහ මහම්මත්තුමාට අපහාස කළේ යැයි චෝදනා ලැබූ බ්‍රිතාන්‍ය ලේඛක ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩිට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයේ ජාතික පුවත්පත් ප්‍රශංසා පළ කර ඇතැයි වාර්තා වේ.‍

ඉරාන ජාතික පුවත්පත් බොහොමයක කතුවැකි වෙන්වී ඇත්තේ ද සල්මාන් රුෂ්ඩි එල්ල වූ ප්‍රහාරය ගැන ගුණ වයමින් යැයි ද පැවැසෙයි.

සල්මාන් රුෂ්ඩිට පිහි ප්‍රහාරය එල්ල කළේ ඉරාන රජයට සහ විප්ලවීය හමුදාවට හිතවාදී ෂියා මුස්ලිම් ඇමෙරිකන් තරුණයෙකි. එසේ වුවත් හදි මටාර් නමැති මෙම තරුණයා ඉරානය සමඟ හෝ ඉරාන විප්ලවීය හමුදාව හෝ කිසිදු සම්බන්ධයක් ඇති අයකු නොවන බව ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසා තිබේ.

හදි මටාර් ඇමෙරිකාවේ උපත ලැබූවකු වන අතර, ඔහුගේ මාපියන් ලෙබනනයේ සිට ඇමෙරිකාවේ පදිංචියට ආ සංක්‍රමණික යුවළකි. හදි මටාර් සම්බන්ධයෙන් පෙර වැරැදි කිසිවක් නොමැති බව ද පොලිසිය පවසා තිබේ.

ප්‍රධාන පෙළේ ඉරාන රාජ්‍ය පුවත්පතක් වන ‘කයාන් නිවුස්’ පුවත්පත කතු වැකිය පළ කර තිබුණේ දෙවියන්ට අපහාස කළ ලේඛකයාට නිසි දඩුවම් හිමිවුණු බව පෙන්වා දෙමිනි. ‘අසාර්’, ‘කොරසාන්’, ‘වටාන් එම්රෝස්’ යන පුවත්පත් ද සල්මාන් රුෂ්ඩි ට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශංසා කර තිබේ.

ඉරාන වැසියන් ද රුෂ්ඩිට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඉස්ලාම් දහමට සහ දෙවියන්ට අපහාස කළ කෙනකුට නිසි දඩුවම් හිමිවිය යුතු බවය. ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ඉරාන වැසියන් මෙසේ අදහස් දක්වා තිබුණත් ඉරාන රජය රුෂ්ඩිට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

(රොයිටර්)

 


RECOMMEND POSTS