ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා කඩිනමින් ඇරැඹෙන ලකුණු



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකාවත් ඉරානයත් අතර සාකච්ඡා කඩිනමින් ආරම්භ වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මේ වනවිටත් වියානා නුවර පැවැත්වෙන මූලික වටයේ සාකච්ඡා සාර්ථක වීම ඊට හේතුවය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවූයේ 2015 දී බැරැක් ඔබාමා පරිපාලනය යටතේය. ඔබාමාගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන්ය.

අද ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ බයිඩන්ය. එම න්‍යෂ්ටික එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට කටයුතු කළේ බයිඩන්ට පෙර ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඒ අනුව 2015 ට පෙර ඉරානයට පනවා තිබුණු සියලු සම්බාධක යළි පැනැවීමක් සිදුවිය.

මේ වනවිට බයිඩන් පරිපාලනය උත්සාහ ගන්නේ, ඉරානය සමඟ යළි න්‍යෂ්ටික එකඟතාවක් ඇති කර ගැනීමටය. වියානා නුවර සාකච්ඡා පැවැත්වෙන්නේ ඊට අදාලවය. 2015 ගිවිසුමට ඇමෙරිකාව සමඟ ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, චීනය, රුසියාව සහ යුරෝපා සංගමය ද එක් වී සිටී. ඇමෙරිකාව 2018 දී න්‍යෂ්ටික එකඟතාවෙන් ඉවත් වුවත් සෙසු රටවල් එසේ කළේ නැත.

(රොයිටර්)


RECOMMEND POSTS