ඉරාන ජනපතිගෙන් ඇමතුමක්



ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රායිසි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟත්, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟත් ඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ දුරකතනයෙනි. ඇෆ්ගනිස්තානයේ තවත් එක් ප්‍රධාන අසල්වැසියකු වන්නේ ඉරානයයි. සැමවිටම ඉරානයේ අරමුණ වූයේ ඇෆ්ගනිස්තානයේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම යැයි ජනාධිපති ඊබ්‍රහීම් රායිසි, රුසියන් ජනාධිපති පුටින්ටත්, චීන ජනාධිපති ෂී ජින්පින්ටත් පැහැදිලි කර තිබේ.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය අල්ලා ගැනීම දීර්ඝකාලීන සාමයකට මඟ පෑදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හමුදා ඇෆ්ගනිස්තානය අතහැර යෑමෙන් පසු ඇෆ්ගන් නව රජයට සහාය දැක්වීමට තමන් සමඟ එක් වන ලෙසත් ඉරාන ජනාධිපතිවරයා රුසියා ජනාධිපතිගෙන් සහ චීන ජනාධිපතිගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීමට නම් තලේබාන්වරුන් පමණක් නොව, ඇෆ්ගනිස්තානයේ සියලු පාර්ශ්වයන් එකමුතු විය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ඉරානය, රුසියාව සහ චීනය මැදහත්කරුවන් ලෙස කටයුතු කළ යුතු බවත් ඉරාන ජනාධිපති රායිසි පැහැදිලි කර තිබේ.

තලේබාන්වරුවන් පිහිටුවන නව රජය තමන් පිළිගන්නා බවත්, ඇෆ්ගන් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සහ ඇෆ්ගනිස්තානයේ සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීමට තමන් කැමැති බවත් චීනය තලේබාන්වරුන්ට පවසා තිබේ. ඒ සියල්ල සිදු කිරීමට නම් පළමුවෙන් ඇෆ්ගනිස්තානය ස්ථාවර විය යුතු බවත් ආර්ථික වශයෙන් යම් වර්ධනයක් පෙන්නුම් කළ යුතු බවත් චීනය තලේබාන් සංවිධානයට පැහැදිලි කර ඇත.

මේ අතර රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත්තේ තලේබාන්වරුන්ගේ නව රජයට අනුමැතිය දීමට රුසියාව ඉක්මන් නොවන බවත්, ඇෆ්ගනිස්තානයේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීමට තමන් සහාය දක්වන බවත්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS