ඉරාකයේ කොරෝනා රෝහලක ගින්නක්



ඉරාකයේ බැග්ඩෑඩ් නුවර, කොරෝනා වයිරස ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක ගින්නක් හට ගැනීමෙන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 46 දෙනකු තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ගින්න හටගත්තේ, බැග්ඩෑඩයේ ඉබ්න් අල් කටීබ් රෝහලේය. ගින්නට හේතුව ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑම යැයි ගිනි නිවන හමුදාව මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

රෝහලේ ගිනි නිවන උපකරණ කිසිවක් නොතිබුණු බවත්, එහෙයින් කඩිනමින් ගින්න නිවා දැමීමට නොහැකි වූ නිසා කොරෝනා රෝගීන් ගින්නට බිලිවුණු බවත් මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.

ගින්න හටගනිද්දී කොරෝනා ආසාදිත රෝගීන් 120 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටි බවත් ඔවුන්ගෙන් 90 දෙනකු බේරා ගැනීමට හැකිවුණු බවත් ඉරාක සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානී මේජර් ජනරාල් කඩීම් බොහනම් පවසා ඇත.

ඔක්සිජන් ටැංකිටය පුපුරා ගින්න හට ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම කළ යුතු බවත්, වරදකරුවන්ට දඩුවම් ලබා දෙන බවත් ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩීමී පවසා තිබේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS