ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට පැමිණෙයි



ඊශ්‍රායලයත් ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානය අතර ඇති වූ සටන් විරාමය තහවුරු කිරීමේ අරමුණින්, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර බලා පැමිණියේය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පමණක් නොව, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ද මුණ ගැසීමට නියමිතය. ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකාව ද ගාසා තීරයේ හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකයි. එහෙයින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහ හමාස් නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වෙන්නේ නැත.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පැහැදිලි සාම සැලැස්මක් අවශ්‍ය බවත්, ඊශ්‍රායල අර්බුදය විසඳිය හැක්කේ ද්වී රාජ්‍යමය විසඳුමකින් පමණක් බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත.

දින 11 ක ගැටුම්වලින් පසු ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතරේ ආරම්භ වුණු සටන් විරාමය අතරතුරේ පලස්තීනුවන්ට අවශ්‍ය ආධාර ලබා දීමත්, ස්ථිරසාර සාම වැඩපිළිවෙළක් සකස් කීරීමත් කෙරෙහි ඇමෙරිකන් ජනපති බයිඩන්ගේ අවධානය යොමු වී තිබේ. එපමණක් නොව, ට්‍රම්ප් පරිපාලනය විසින් ඉවත් කර ගත්, ඇමෙරිකන් පලස්තීන තානාපති කාර්යාලය ද යළි ස්ථාපිත කිරීම කෙරෙහි බයිඩන්ගේ අවධානය යොමු වී ඇත.

දින 11 කට ගැටුම්වලින් පසු, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් විරාමයක් ආරම්භ වූයේ ඊජිප්තුවේ මැදිහත් වීමෙනි. රාජ්‍ය ලේකම් බ්ලින්කන්, ඊජිප්තුවේත්, ඊශ්‍රායලයේ අසල්වැසියකු වන ජෝර්දානයේත් සංචාරය කිරීමට නියමිතය. ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳමින්, ද්වී රාජ්‍යමය විසඳුමකට යෑමට නම් අසල්වැසි කලාපීය රටවල සහාය ඊට අවශ්‍ය බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.

ටෙල් අවීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS