ඇමෙරිකන් රාජ්‍ය ලේකම් කටාරයේ



ඇෆ්ගන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ අරමුණින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කටාර් බලා පැමිණියේය.

බ්ලින්කන් සමග ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ද මෙම සංචාරයට එක් වී සිටී.

කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනා ඉතාමත් උණුසුම් ලෙස පිළිගත්තේය.

ඉන්පසු කටාර් බලධාරීන් සහ ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගනිද්දී, මැදහත්කරුවකු ලෙස කටයුතු කරමින්, විදෙස් හමුදාවලට සහ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට ඉඩ සලසා දුන්නේ කටාර් රාජ්‍යයයි.

මේ සම්බන්ධයෙන් කටාර් එමීර්වරයා ඇතුළු සැමට ස්තුති කිරීමට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අමතක නොකළේය.

ඇෆ්ගනිස්තානයෙන් පිටවුණු ඇමෙරිකන් සොල්දාදුවන් 58,000 කට තාවකාලිකව නවාතැන් දීමට කටාර් රාජ්‍යය ඔවුන්ගේ හමුදා කදවුරු විවෘත කර තිබේ.

කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් අතරේ ද හමුවක් පැවැත්විණි.

ඒ අතරතුරේ ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කටාර් ආරක්ෂක අමාත්‍ය කලීඩ් බින් මොහොමද් අල් අටියා හමුවුණු බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන් ස්ථාපිත කරන නව රජය ස්ථාවර මෙන්ම ශක්තිමත් එකක් කිරීමට කටාර් රාජ්‍යය සහාය ලබා දෙන බව පවසා ඇත.

කාබුල් ගුවන්තොටුපොළේ කටයුතු දිගටම පවත්වා ගෙන යෑමට ද කටාර් රාජ්‍යය තලේබාන්වරුන්ට සහාය ලබා දීම ආරම්භ කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS