අල් කයිඩා සංවිධානයේ නව නිවහන ඉරානයයි



සුන්නි මුස්ලිම් අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නව නිවහන වී ඇත්තේ ෂියා මුස්ලිම් ඉරානය යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ චෝදනා කරයි.

පොම්පේඕ මෙසේ ඉරානයට චෝදනා කළේ වොෂින්ටන් නුවර පැවැති මාධ්‍ය හමුවකදීය.

කෙසේ නමුත් එල්ල කරන එම චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම්වරයා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළ බව ද පැවැසෙයි.

සුන්නි මුස්ලිම් ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් සැදුම්ලත් අල් කයිඩාව සහ ෂියා මුස්ලිම් ඉරානය ඇයි හොඳයිකම් නොමැති බව පොදු මතයයි.  ඊට හේතුව සුන්නි මුස්ලිම්වරුන් සහ ෂියා මුස්ලිම්වරුන් අතර පවතින ආගමික බෙදීමය.

කෙසේ නමුත්, රාජ්‍ය ලේකම් පොම්පේඕ චෝදනා කරන ආකාරයට, ෂියා මුස්ලිම් ඉරානය සහ සුන්නි අල් කයිඩාව අතර ඇයිහොඳයිකම් වර්ධනය වී ඇත්තේ 2015 දීය.

මත ගැටුම් පැවැතියත් දෙපාර්ශ්වය මිතුදම් පවත්වා ඇත්තේ ඇමෙරිකාව පොදු සතුරා ලෙස සලකමිණි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඇමෙරිකන් ජනපති ධුරයට පත් වූ දා පටන් ඉරානයට කෙණෙහිලිකම් කරන්න විය. ඒ, සෞදියටත් ඊශ්‍රායලයටත් සහාය දක්වමිණි.

ඔබාමා පරිපාලන සමයේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානය සමඟ ඇති කරගත් ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ට්‍රම්ප් කටයුතු කළේ සෙසු බටහිර රටවල් වන මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සහ යුරෝපා සංගමයත්, රුසියාව සහ චීනයේත් දැඩි විරෝධය මැදය.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයෙන් සමුගනු ඇත්තේ ලබන 20 වැනිදා ජෝ බයිඩන් නව ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසුවය. බයිඩන් පවසා ඇත්තේ, තමන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, ඉරානය සමඟ ඇති කරගෙන තිබුණු න්‍යෂ්ටික එකඟතාවට ඇමෙරිකාව යළි සම්බන්ධ කරන බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS