අයි.එස්. මූල්‍ය ප්‍රධානියා අල්ලයි



ඉරාක අයි.එස්.අයි.එස් සංවිධානයේ මූල්‍ය ප්‍රධානී, සාමි ජාසිම් අල් ජබුරි කොටු කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බව ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදෙමී නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

සාමි ජාසිම් අල් ඇමෙරිකාවට ඕනෑ කළ ප්‍රධාන පෙළේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදියකි. ඔහු සොයා අල්ලා ගැනීමට හැකිවූයේ ඉරාක බුද්ධි අංශ කළ සංකීර්ණ මෙහෙයුමතික් බව පැවැසෙයි. සාමි ජාසිම් අල් ජබුරි ගෝලීය ත්‍රස්තවාදියෙකු යැයි අමෙරිකාව විසින් නම් කරනු ලැබුවේ 2015 වසරේදීය. අල් ජබුරි අල්ලා ගැනීමට සහාය දෙන්නේ නම් ඒ වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් පිරිනමන බව ද ඇමෙරිකාව නිවේදනය කර තිබුණි.

2003 වසරේ ඇමෙරිකාව ඉරාකයේ සදාම් හුසේන් පාලනය පෙරළා එරට ආක්‍රමණය කළේය. ඒ, සදාම් හුසේන් රජය සතුව විනාශකාරී අවි ඇතැයි චෝදනා කරමිනි. සදාම් හුසේන්ගේ දේශපාලන කණ්ඩායම වූයේ 'බාත්' පක්ෂයයි. සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දැමීමත් සමඟ මෙම පක්ෂ ක්‍රියාකාරීන් අවි අතට ගත්හ.

පළමුවෙන් අල් කයිඩා සංවිධානයට හවුල් වී සිටි එම ක්‍රියාකාරීන් පසුව වෙනම ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් තෙක් වර්ධනය විය. ඒ, සිරියාවේ ද බලය පතුරුවමිනි. අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ත්‍රස්ත සංවිධානයයි.

අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි ඝාතනය කිරීමට ඇමෙරිකාව සමත් වී ඇති අතර ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්.අයි.එස්. සංවිධානය මේ වනවිට අඩපණ වී ගොසිනි. කෙසේ නමුත් ඇෆ්ගනිස්තානයේත්, පාකිස්තානයේත්, සෙසු ආසියානු රටවලත් අයි.එස්. ත්‍රස්ත කල්ලි ක්‍රියාත්මක වෙයි. මොවුන් කලාපීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ද සැමට තර්ජනයක් බව ජගත් බුද්ධි අංශ අනතුරු අගවා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS