රෑ අහසේ ‘රජ දැක්ම’



විවිධ වර්ණවලින් යුත් ‘ජෙමිනිඩ්’ උල්කාපාත වර්ෂාව අද (13) රාත්‍රියේත් හෙට (14) අලුයම් කාලයේත් ලෝකවාසීන්ට දැක ගැනීමට හැකිවෙයි.

ඉතාමත් අලංකාර උල්කාපාත වර්ෂාවක් වනු ඇති බව තාරකා විද්‍යාඥයන් පෙන්වා දී ඇති හෙයින් මෙය ‘ජෙමිනිඩ්’ එසේත් නැතිනම් උල්කාපාත ‘රජ දැක්ම’ ලෙස හඳුන්වා දී ඇත.

මෙරට වේලාවෙන් අද රාත්‍රී 9 ත් 10 ත් අතරත්, හෙට අලුයම 2 ත් 4 ත් අතර ඊසාන දිශාවේ, මිථුන රාශිය දෙසින් උල්කාපාත වර්ෂාව දකින්න ලැබේ. පැයක් ඇතුළත උල්කාපාත 150 ක ප්‍රමාණයක් පෘථිවි වායුගෝලයට ඇතුළු වී පහළට එනු ඇති බව පැවැසෙයි. ඒ අනුව, මිනිත්තුවකට උල්කාපාත එකක් හෝ දෙකක් නැරඹීමට හැකි වනු ඇත.

අභ්‍යවකාශයේ පාවෙන විශාල පාෂාණ කොටස් හැඳින්වෙන්නේ ග්‍රහක එසේත් නැතිනම් ඇස්ට්‍රොයිඩ යනුවෙනි. මෙම ග්‍රහක විවිධ ප්‍රමණයෙන් යුක්තය. වැලි කැට තරම් ග්‍රහක කැබලි පමණක් නොව, අති දැවැන්ත ග්‍රහක කැබැලි විශ්වයේ සැරිසරයි.

අවුරුදු මිලියන 65 කට පෙර, ඩයිනසෝරයන් මිහිමතින් වඳ වූයේ යෝධ ග්‍රහකයක් පොළොවේ ගැටීමෙනි. මීට සතියකට පමණ පෙර, ලොව උසම කුලුනු ගොඩනැගිල්ල ලෙස සැලකෙන, බර්ජ් කලීෆා තරම් විශාල ග්‍රහකයක් පෘථිවිය පසු කර ගියේය. එහි ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වූයේ නම් කොරෝනා ජරමර මැද පෘථිවි අප තවත් ව්‍යසනයනට මුහුණ දෙනු නොඅනුමානය.

උල්කා යනු ප්‍රමාණයෙන් කුඩා ග්‍රහක කැබලිය. මෙම කැබලි උල්කාපාත ලෙස හැඳින්වෙන්නේ ඒවා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී පහළට ඇදී එන අවස්ථාවේදීය. උල්කාපාත වර්ෂාවක් යනු, උල්කා කැබලි බොහොමයක් එක වරකට දකින්න ලැබීමය.

උල්කා කැබලි පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවී, පෘථිවි වායු ගෝලය හරහා පහළට ඇදී එද්දී, සෙල්සියස් අංශක 3,000 කට වඩා වැඩි උෂ්ණත්වයකදී ගිනිගෙන දැවෙයි. දීප්තිමත් උල්කාපාත දකින්න ලැබෙන්නේ එවිටය.

උල්කාපාත ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ග කෙරේ. ඒ, ඒවායේ අඩංගු දේවල් අනුවය. නිකල් හෝ වෙනයම් ලෝහයක් හෝ සමඟ මිශ්‍ර වූ යකඩ උල්කාපාත, නිකල්, යකඩ උල්කාපාත සහ මිශ්‍ර ලෝහ කුඩා ප්‍රමාණයකින් සමන්විත ප්‍රධාන වශයෙන් සිලිකේට ඛනිජ වර්ගවලින් පිරුණු ශිලාමය උල්කාපාත යනු එම ප්‍රධාන කොටස් තුනය.

උල්කාපාත වර්ෂා විවිධ වර්ණවලින් දකින්න ලැබේ. එසේ නොයෙක් වර්ණවලින් දිස් වන්නේ මෙම පාෂාණ කැබලි තුළ අන්තර්ගත වී ඇති විවිධ මුලද්‍රව්‍යයන් දැවී යද්දීය. ලිතියම් මූලද්‍රව්‍ය අන්තර්ගත උල්කාපාතයක් ඉහළ අහසේ දැවී අළු වී යන විට රතු වර්ණයෙන් දකින්න ලැබේ.

අප ගිනි කෙළි සංදර්ශන සඳහාද මූලිකව යොදා ගන්නේ මෙම ක්‍රමවේදයයි. මල් වෙඩිල්ලක් විවිධ වර්ණයෙන් දිස්වීම සඳහා මල් වෙඩිල්ල තුළට විවිධ මූලද්‍රව්‍ය ඇතුළත් කෙරේ.

පහතින් දැක්වෙන්නේ විවිධ වර්ණයන් ලබා දීමට මුල් වන්නාවූ මූලද්‍රව්‍යය. වර්ණ අනුව උල්කාපාතය තුළ බහුලව ඇත්තේ කුමන මූලද්‍රව්‍යය ද යන්න මෙමගින් දල අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

මුල ද්‍රව්‍ය සහ වර්ණය

Li (ලිතියම්) රතු
Na (සෝඩියම්) කහ
Cs (සීසියම්) නිල් - දම්
Ca (කැල්සියම්) ගඩොල් රතු
Sr (සෙට්‍රොන්ටියම්) ක්‍රිම්සන් රතු
Cu (කොපර්) තද කොළ

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS