සඳට යන්න අලුත් ඇඳුමක්



ඇමරිකාවේ නාසා ආයතනය සඳට ගගනගාමීන් යැවීමට සූදානම් වෙයි. ඒ, ‘ආර්ටිමිස්’ මෙහෙයුම් මාලාව යටතේය. ‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුම පසුගිය 2022 වසරේ දී සාර්ථකව සිදු කෙරිණ. එහිදී නාසා ආයතනයේ ‘ඔරායන්’ ගගන කැස්පියුලය‍, තනිවම සඳට යවා සඳ වටේ කැරැකී ආපසු ගෙන්වා ගැනීම සිදුවිය. ‘ඔරායන්’ ආසන තුනකින් සමන්විත වන අතර, මෙය නිපදවා ඇත්තේ ගගනගාමීන් සඳ මතුපිටට රැගෙන යෑමට සහ ආපසු නිරුපද්‍රිතව ගෙන්වා ගැනීමටය. ‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුමේ සාර්ථකත්වයෙන් පසු, දැන් නාසා විද්‍යාඥයෝ ‘ආර්ටිමිස් 2’ මෙහෙයුමට සූදානම් වෙති. මෙම මෙහෙයුමට ගගනගාමීන් තිදෙනකු සම්බන්ධ වනු ඇත. ඔවුන් තිදෙනාගෙන් දෙදෙනකු ඇමරිකන් ගගනගාමීන් වනු ඇති අතර, අනෙක් ගගනගාමියා කැනඩාවෙනි. ඒත්, ඔවුන් ‘ඔරායන්’ කැප්සියුලයෙන් සඳට ගොඩ බෑමක් සිදු කරන්නේ නැත. ඔවුන් කරන්නේ සඳ වටා ‌ගොස් ආපසු පෘථිවියට පැමිණීම පමණි. එම ‘ආර්ටිමිස් 2’ මෙහෙයුමට එක් වන ගගනගාමීන් තිදෙනා කවුරුන්දැයි නිවේදනය කිරීම ඉදිරි මාස කීපයේදී සිදුවනු ඇත. ‘ආර්ටිමිස් 2’ මෙහෙයුමේ සාර්ථකත්වය අනුව, ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම ආරම්භ වනු ඇති අතර ගගනගාමීන් සඳට පය තැබීම සිදුවනු ඇත්තේ මෙම මෙහෙයුමේදීය. මෙහිදී සිදුවන තවත් විශේෂ දෙයක් ඇත. ‘ආර්ටිමිස් 3’ මෙහෙයුමේදී පිරිමියකු පමණක් නොව, කාන්තාවක ද සඳට පා තබනු ඇත. එහෙයින් එය ඓතිහාසික සිදුවීමක් වනු නිසැකය. එම ‘සඳවතිය’ කවුරුන්දැයි දැන ගැනීමට නම් තවත් වසරක් හෝ දෙකක් බලා සිටීමට සිදුවේවි.

දැන් අපි යමු, අපේ කතාවට. ‘ආර්ටිමිස් 2’ මෙහෙයුමට සහ ඉන්පසු ‘ආර්ටිමිස් 3’ මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් වෙනුවෙන් නාසා ආයතනය නව ගගන ඇඳුමක්, හරියටම කීවොත්, ඇඳුම් කට්ටලයක් නිර්මාණය කර තිබේ. මාධ්‍ය හමුවක් පවත්වමින්, මෙම ඇඳුම් කට්ටලය, ලොවට අනාවරණය කිරීම පසුගිය දා සිදුවිණි. මේ සටහන කියවන ඔබට දකින්න ලැබෙන්නේ එම මාධ්‍ය හමුවේ දී එළිදැක්වූ ගගන ඇඳුම් කට්ටලයයි. මෙය තවමත් අත්හදා බැලීමේ මට්ටමේ ඇඳුම් කට්ටලයකි; මූලාකෘතියකි (Prototype). දැනට මේ සඳහා යොදා ඇත්තේ එය නිපදවූ සමාගමේ නිල වර්ණය වූ නිල් පැහැයයි. සැබෑ ඇඳුම් කට්ටලය, එනම් ගගනගාමීන් සඳට යද්දී ඔවුන්ට ලැබෙන ඇඳුම් කට්ටලය, සුදු වර්ණයෙන් යුක්ත වනු ඇතැයි නාසා පැහැදිලි කර තිබේ. අත්හදා බැලීමේ ඇඳුම, තද නිල් පැහැයක් (Navy Blue) ගන්නා බව මේ සටහන සමඟ ඇති ඡායාරූපවලින් ඔබට පෙනේවි.

නාසා ආයතනය මෙම ඇඳුම් කට්ටලය නිර්මාණය කරන්නේ, ‘ඇක්සියම්’ Axiom නමැති අභ්‍යවකාශ තාක්ෂණ සමාගම සමඟ හවුලේය. ‘ඇක්සියම්’ සමාගම, නාසා ආයතනය සමඟ ඇමරිකන් මිලියන 228.5 ක ගිවිසුමකට අත්සන් කර තිබේ. ඒ නාසා ආයතනය වෙනුවෙන් ගගනගාමීන්ගේ ඇඳුම් කට්ටල නිර්මාණය කරදීමටය. හූස්ටන් ගගන මධ්‍යස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණු අතර, ඇඳුම් කට්ටලය හඳුන්වා දීමේ අවස්ථාවට නාසා බලධාරීන් පමණක් නොව, ‘ඇක්සියම්’ තාක්ෂණ ශිල්පීහු පවා එක් ව සිටියහ. නාසා ආයතනය මෙම ගගන ඇඳුම් කට්ටලය හඳුන්වා ඇත්තේ ‘ඇක්සියම් බහිර්යානා චලන ඒකකය’ (Axiom Extravehicular Mobility Unit - AxEMU) යනුවෙනි.

මීට පෙර නාසා ගගනගාමීන් සඳට පය තැබුවේ ‘ඇපලෝ’ මෙහෙයුම් මාලාව යටතේය. එදා නාසා ගගනගාමීන් ඇඳ සිටියේ සිරුරට වඩා ප්‍රමාණයෙන් විශාල පිම්බුණු ගගන ඇඳුම් කට්ටලයකි. ඔවුන් සඳ මතුපිට ඇවිද්දේ හාවුන් මෙන් පැන පැනය. ඇතැම් විට හිස කොටස බරින් වැඩි නිසා පහත් වෙද්දී පෙරළී ගිය අවස්ථා ද තිබේ. ඒත් මෙම නව ඇඳුම් කට්ටලය (AxEMU) නිර්මාණය වන්නේ එය පලඳින පිරිමි හෝ ගැහැනු ගගනගාමියාගේ සිරුරට මනා ලෙස පෑහෙන ආකාරයටය. ඒ අනුව පහසුවෙන් අතපය සොලවන්න ඔහුට හෝ ඇයට හැකි වෙයි.‍ එපමණක් නොවෙයි, හාවුන් වගේ පැන පැන සඳ මතුපිට ඇවිදින්න ඕනෑ වෙන්නේ ද නැත. මෙසේ පැහැදිලි කළේ ‘ඇක්සියොම්’ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මයික් සෆෙරිඩීනීය. නව ඇඳුම් කට්ටලය නිර්මාණය කර ඇත්තේ මයිලර් (Mylar) සහ කෙල්වර් (Kelvar) වලිනි. මයිලර් යනු පොලිඑතිලීන් ටෙරපතලේට් නම් පොලියෙස්ටර් රේසින් විශේෂයකි. ජල ටැංකි තැනීමට භාවිත කෙරේ. කෙව්ලර් යනු පොලිපැරා ෆිනයිලීන් ටෙරාප්තැල්මයිට් නම් නයිලෝන් වැනි පොලිමර් විශේෂයකි. වෙඩි නොවදින කබා, අත්වැසුම්, ටයර් ආදිය නිර්මාණය කරන්නේ කෙල්වර්වලිනි.

නාසා ආයතනය ‘ඇපලෝ’ මෙහෙයුම් ආරම්භ කළේ මිනිසුන් සඳට යැවීමේ සහ ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීමේ අරමුණින්ය. නාසා ආයතනය‘ඇපලෝ’ මෙහෙයුම් ආරම්භ කළේ 1961 වසරේදීය. 1962 සිට 1972 තෙක් කාලයේ, ‘ඇපලෝ’ මෙහෙයුම් 6 ක් සාර්ථක විය. ඒ, ඇපලෝ 11, 12,15, 16 සහ 17 ය. ‘ඇපලෝ 7’ සහ ‘ඇපලෝ 9’ චන්ද්‍ර කැප්සියුල අත්හදා බැලීමේ මෙහෙයුම් වූ අතර, ඒවා පෘථිවි කක්ෂයට ගොස් සඳ වටා කැරැකී ආපසු පැමිණියේය. ‘ඇපලෝ 8’ සහ ‘ඇපලෝ 10’ සඳුගේ කක්ෂය වටා යමින් අත්හදා බැලීම් සම්පූර්ණ කළේය. සඳ මතුපිට ඡායාරූප ගැනීම ද කළේය. ‘ඇපලෝ 13’ සඳට පතිත කිරීමට නියමිතව තිබුණ ද සඳට ළං වෙද්දී තාක්‍ෂණික ගැටලු මතු විය. කෙසේ නමුත් ගගනගාමීන් තිදෙනාට නිරුපද්‍රිතව ආපසු ඒමට හැකි විය.  මුලින්ම මිනිසුන් සඳට යැවීම සිදුවූයේ ඇමෙරිකා නාසා ආයතනයේ ‘ඇපලෝ’ මෙහෙයුම් මාලාවේ, ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේය. පළමුවෙන් සඳට පය තැබුවේ නාසා ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං ය. ආම්ස්ට්‍රෝං සමඟ එඩ්වින් ‘බස්’ ඕල්ඩ්‍රීන් සඳට ගියේය. ඒ, 1969 ජූලි 20 වැනිදාය.  නාසා ආයතනය සඳ මෙහෙයුම් අවසන් කළේ හරියටම මීට අවුරුදු 50 කට පෙරය. අවසන් ‘ඇපලෝ’ මෙහෙයුම වූයේ ‘ඇපලෝ 17’ ය. ‘ඇපලෝ 17’ මෙහෙයුම යටතේ සඳට පය තැබුවේ යූජීන් සර්නන් සහ හැරිසන් ෂ්මිත් නාසා ගගනගාමීන් දෙදෙනාය. සඳට පය තැබූ අවසන් මිනිසුන් ලෙස සැලකෙන්නේ මොවුන් දෙදෙනාය. ‘ඇපලෝ’ වැඩසටහන් මාලාව යටතේ සඳට ගිය ගගනගාමීන් ගණන 12 කි.

‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුම ආරම්භ වූයේ පසුගිය 2022 වසරේ නොවැම්බර් 16 වැනිදාය. නාසා ආයතනය සතු ප්‍රබලතම රොකට්ටුව වන ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතියේ ආධාරයෙන් ගගනගාමීන් කිසිවකු නොමැති ‘ඔරායන්’ කැප්සියුලය පෘථිවි කක්ෂයට තල්ලු කර යැවිණි. රොකට්ටුවෙන් වෙන් වී පෘථිවි කක්ෂයට ගිය ‘ඔරායන්’ පෘථිවියේ ගුරුත්ව බලය ආධාර කර ගනිමින් සඳ බලා ගියේය. ‘ඔරායන්’ කැප්සියුලය ගගනගාමීන් ගෙන යෑමට නිර්මාණය කර ඇති කැප්සියුලයකි. ආසන තුනකින් සමන්විත කැප්සියුලයේ ගගනගාමීන්ට අවශ්‍ය සියලු පහසුකම් තිබේ. ආර්ටිමිස් 1’ මෙහෙයුමට සැබෑ ගගනගාමීන් සම්බන්ධ නොවුණත්, ඒ අසුන්වල සන්වේදක සවි කළ ‘බොරු ගගනගාමීන්’ (මිනිස් අනුරු එසේත් නැතිනම් ඩමි) අසුන් ගන්වා සහ නිදි කර තිබුණි. ඒ ආසන පටි පලඳවමිනි. සැබෑ ගගනගාමීන්ට කායික වශයෙන් සහ මානසික වශයෙන් සිදුවන බලපෑම නාසා විද්‍යාඥයන් අධ්‍යයනය කිරීම මෙහෙයුමේ එක් ප්‍රධාන අරමුණක් විය.

ආපසු ආ ‘ඔරායන්’ කැප්සියුලය, ඇමෙරිකාවේ වේලාවෙන් දෙසැම්බර් 11 වැනිදා උදෑසන 8 ට පෘථිවි වායු ගෝලයට පිවිසිණි. ඒ පෙර සැලැසුම් කළ ආකාරයටය. ‘ඔරායන්’ කැප්සියුලය, පහළට ඇදී ආවේ පැයට කිලෝ මීටර් 40,000 ක වේගයකිනි. එහිදී ඇති වුණු තාපය සෙල්සියස් අංශක 2,800 කි. එය හිරු මතු පිට පවතින තාපය මෙන් අඩකි. ‘ඔරායන්’ කැප්සියුලයට ’තාප පළිහක්‘ (Heat Shield) සවි කර තිබුණි.  කැප්සියුලය පෘථිවි කක්ෂයට පිවිසී, පහළට ඇදී ඒමට සැලැස්වූයේ තාප පළිහ පෘථිවිය දෙසට යොමු කරමිනි. එහෙයින් අධික තාපයෙන් කැප්සියුලයට අනතුරක් සිදු නොවිණි. ‘ඔරායන්’ කැප්සියුලය, පළමුවෙන් අත්හදා බැලීම් කළේ 2014 වසරේදීය. එය පෘථිවි කක්ෂයට යැවීම සහ ආපසු ගෙන්වා ගැනීම සිදු විය. කෙළින්ම පෘථිවි කක්ෂයට ගොස් ආපසු පෘථිවිය දෙසට පැමිණියේ පැයට කිලෝ මීටර් 32,187 ක වේගයකින් යැයි නාසා ආයතනය පසුව පැවැසුවේය.

පෘථිවි වායු ගෝලයට පිවිසි ‘ඔරායන්’ කැප්සියුලය, ගිනි ගෙන දැවෙමින්, පහළට ඇදී එද්දී ඊට සවි කළ පැරෂූට් දිග හැරුණි. ඒ වේගය අඩාල කරමින් පහළට පතිත කිරීමටය. පෙර සැලැසුම් කළ ආකාරයටම, කැප්සියුලය පතිත කෙරුණේ පැසිෆික් සාගරයේ, මෙක්සිකෝවට ඔබ්බෙන් පිහිටි ග්වාඩලූප් දූපත අසල මුහුදටය. ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස්. පෝට්ලන්ඩ්’ නෞකාව, හෙලිකොප්ටර් යානා සහ කුඩා බෝට්ටු කැප්සියුලය පහළට වැටෙන තුරු අහසට දෙසට නෙත් දල්වා ගෙන බලා සිටියේය.

පැරෂූට් දිග හැරී ‘ඔරායන්’ කැප්සියුලය මුහුදට සෙමින් පතිත වෙද්දී, ඊට කිලෝ මීටර් දහස් ගණනක් දුරින්, නාසා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරිය ප්‍රීති ඝෝෂාවලින් පිරීගියේය. එම පුහුණු මෙහෙයුමෙන් නාසා විද්‍යාඥයන්ට ඉතා වැදගත් දත්ත රැසක් එකතු කර ගැනීමට හැකියාව ලැබුණි. මුහුදට පතිත වීමෙන් පසු කැප්සියුලය ඇතුළත කෙමෙන් සිසිල් වන ආකාරය ගගනගාමීන් සිටියා නම් එය ඔවුන්ට බලපාන ආකාරය පිළිබඳ දත්ත රැස් කර ගැනීම ද සිදුවිය. ‘ඔරායන්’ කැප්සියුලය ඉතාමත් සුවිශේෂී එකකි. අනාගතයේ, 2025 සහ 2025 වසරෙන් ඔබ්බට සිදුවන සියලු චන්ද්‍ර මෙහෙයුම්වලදී යොදා ගැනෙනු ඇත්තේ මෙම කැප්සියුලයයි. ‘ඔරායන්’ කැප්සියුලයට සෙල්ෆි ඡායාරූප ගැනීමට පවා හැකියාව තිබුණි. ඒ එහි සූර්ය පැනලවලට සම්බන්ධ කළ කැමරාවලිනි.

සඳ බලා ගිය ගමන අතරතුරේ එසේ ලබා ගත් සෙල්ෆි ඡායාරූප නාසා ආයතනය ප්‍රසිද්ධියට පත් කළේය. එපමණක් නොව, ‘ඔරායන්’ කැප්සියුලය පෘථිවි කක්ෂයට ගොස් සඳට යෑම, සඳුගේ කක්ෂයට පිවිසී සඳ වටා යෑම සහ පසුව පෘථිවියට පැමිණ මුහුදට පතිත කිරීම ආදී සියල්ල සජීවීව අන්තර් ජාලය ඔස්සේ විකාශය කිරීමට ද නාසා ආයතනය පියවර ගත්තේ, මෙම සුවිශේෂී වික්‍රමය ලොව ඕනෑම කෙනකුට දකින්න ඉඩ සලස්වමිනි.

සඳුගේ කක්ෂයට පිවිසි ‘ඔරායන්’ කැප්සියුලය, සඳ මතුපිට සිට කිලෝ මීටර් 130 ක් ඉහළින් සඳ වටා ගමන් කළේය. කැප්සියුලය සඳේ අඳුරු කලාපය පසු කරද්දී, මිනිත්තු 34 ක කාලයක්, යානය සහ පෘථිවි පාලන මැදිරිය අතර සබඳතා බිඳ වැටුණු බව ද නාසා ආයතනය පැවැසීය. එම මිනිත්තු 34 කාලය තමන් නොඉවසිල්ලෙන් ගත කළ බව නාසා විද්‍යාඥයෝ පසුව පැහැදිලි කළහ.

‘ආර්ටිමිස් 1’ මෙහෙයුම ආරම්භ වී දින 16 ක් ගත වෙද්දී, දින 10 ක් සඳුගේ කක්ෂයේ රැඳී සිටි ‘ඔරායන්’ යානය සඳුගේ ගුරුත්ව බලය ආධාර කර ගනිමින් යළි පෘථිවිය බලා ගමන් ඇරැඹුවේය. එය පෘථිවිය වෙත පැමිණ, පැරෂූට් ආධාරයෙන් මුහුදට පතිත කෙරුණේ ඉන් පසුවය. ‘ඔරායන්’ කැප්සියුලය මෙම ගමනේ දී වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය. මෙය ගගනගාමීන් එසේත් නැතිනම් මිනිසුන් ගෙන යෑමට නිර්මාණය කළ කැප්සියුලයකි.  එහෙයින්, මිනිසුන් ගෙන යෑමට නිපදවූ කැප්සියුලයක් පෘථිවියේ සිට වැඩිම දුරකට ගමන් කිරීමේ වාර්තාව පිහිටුවූයේ ‘ඔරායන්’ කැප්සියුලයයි. කැප්සියුලය නොවැම්බර් 26 වැනිදා සඳුගේ කක්ෂය රැඳෙමින් පෘථිවියේ සිට කිලෝ මීටර් 432,000 ක් දුරට ගියේය. වාර්තාව එයයි.

‘ආර්ටිමිස්’ මෙහෙයුම් සියල්ල සඳහා යොදා ගන්නේ ‘ඔරායන්’ ය. මීට වසර 50 කට පෙර සඳ තරණය සිදුවූයේ ‘ඇපලෝ’ මෙහෙයුම්වලිනි. ‘ඇපලෝ’ යනු හිරු සහ ආලෝකයට අධිපති දෙවියාය. ග්‍රීක දේව පුරාණයට අනුව, ‘ඇපලෝ’ දෙවියන්ගේ නිවුන් සොහොයුරිය ‘ආර්ටිමිස්’ ය. නාසා ආයතනයේ යළි සඳ තරණ මෙහෙයුම් ‘ආර්ටිමිස්’ යනුවෙන් නම් කෙරුණේ, පළමු වරට කාන්තාවක සඳට පය තබන නිසාය. සඳ තරණය, ගවේෂණය සහ ජනාවාස පිහිටුවා ගැනීම අනාගතයේ ‘ආර්ටිමිස්’ මෙහෙයුම් මාලාවේ අරමුණ වනු ඇත.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS