නාසා යානය පෘථිවිය බලා ගමනේ



අනාගතයේ දිනක පෘථිවියට තර්ජනයක් වීමට ඉඩ ඇති බෙන්නු නමැති දැවැන්ත ග්‍රහකය ගවේෂණය කිරීමට නාසා ආයතනය ‘ඔසයිරස් රෙක්ස්’ යානය යැවීම කළේ 2016 දීය. දීර්ඝ අභ්‍යවකාශ ගමනකින් පසු බෙන්නු ග්‍රහකයට සමීප වූ ඔසයිරිස් රෙක්ස් යානය, 2020 වසරේදී ඔක්තෝබරයේ ග්‍රහකයේ වේගයට සමාන අයුරින් ගමන් කරමින්, ග්‍රහකයට පහත් වී, පස් සහ දූවිලි සාම්පල සූරා එක් රැස් කර ගත්තේය. ඒ, ග්‍රහකයට ගොඩබෑමක් නොකරමිනි. සූරා ගත් පස් සහ දූවිලි ප්‍රමාණය ග්‍රෑම් කීපයක් පමණි.

මෙය විශ්ව ගවේෂණයේ තවත් අපූරු වික්‍රමයක් විය. දශමයක හෝ වරදක් සිදුවූයේ නම් මෙහෙයුම අවසන් වීමට ඉඩ තිබුණි. සාම්පල සූරා ලබා ගැනීමට රොබෝ යානයට අඩි 11 ක් දිග විශේෂ රෙබෝ අතක් සවි කර තිබුණු අතර, ග්‍රහකයේ ඡායාරූප ලබා ගැනීමට අති නවීන කැමරා පද්ධතියක් ද යානය සතු විය. මෙහෙයුම සිදුවෙද්දී, බෙන්නු ග්‍රහකය පිහිටියේ පෘථිවියේ සිට සැතපුම් මිලියන 200 ක් දුරකින්ය.

දැන් ‘ඔසයිරස් රෙක්ස්’ යානය යළි පෘථිවිය බලා පැමිණෙමින් සිටී. එසේ පැමිණීමට අදාල උපදෙස් යානයට ලබා දීම පසුගිය දා සිදුවිය. ග්‍රහකයකට ගොස් දූවිලි සහ පස් සාම්පල එක් රැස් කර ගනිමින්, ආපසු එම යානය පෘථිවියට ගෙන්වා ගැනීම සිදුවන්නේ පළමු වතාවටය.

“යානයට ආපසු පෘථිවිය බලා පැමිණීමට කෙළින් මාර්ගයක් ඇත්තේ නැහැ. ගමන දුෂ්කරයි. අවදානම්.” යැයි නාසා ආයතනය ගවේෂණ යානය ආපසු ගෙන්වා ගැනීමට උපදෙස් දීමෙන් පසු මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. නාසා ගණනය කිරීම් අනුව යානය පෘථිවියට පැමිණීමට නියමිතව ඇත්තේ 2023 වසරේ සැප්තැහ්බර් 23 වැනිදාය. පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමෙන් පසු එය ඇමෙරිකාවේ යූටා කාන්තාරයට පතිත වනු ඇත. ඒ, පැරෂූට් ආධාරයෙනි. ටෙක්සාස් හි හූස්ටන් පිහිටි ජෝන්සන් අභ්‍යවකාශ ආයතනයට සාම්පල රැගෙන යෑම සිදුවන්නේ ඉන්පසුවය. එම සාම්පලවලින් සියයට 75 ක් ආරක්ෂිතව අසුරා තැබීමට නාසා අපේක්ෂා කරයි. “බෙන්නුගෙන් ගෙන්වා ගන්නා සාම්පලවලින් සියයට 75 ක් අප දැන්ම පර්යේෂණවලට යොදා ගන්නේ නැහැ. ඊට හේතුව වර්තමානයේ පවතින තාක්ෂණය යටතේ අපට එම සාම්පල පරීක්ෂා කිරීමට හැකියාවක් නොමැති වීමයි. එහෙයින් අනාගතයේ දිනෙක තක්ෂණය දියුණු වුණු දිනෙක ඒවා අදාල පර්යේෂණවලට යොසා ගැනීමට අප ඒවා කල්තබා ගැනීමක් කරනවා” යැයි නාස ආයතනය මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS