ඉරාක පාර්ලිමේන්තුවට කඩා වදිති



ඉරාක පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා මාස නවයක් ගත වී ඇති නමුත්, එරට දේශපාලන නායකයන්ට තවමත් රජයක් පිහිටුවීමට හැකියාවක් ලැබී නැත. දිනෙන් දින උත්සන්න වූ දේශපාලන අර්බුදය, අද (28) වැනිදා තවත් ඔඩුදුවන්න වූයේ ෂියා මුස්ලිම් ආගමික නායකයකු මෙන්ම දේශපාලන නායකයකු ද වන මුක්ටාඩා අල් සදාර්ගේ ආධාරකරුවන් ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදීමත් සමඟය. ඒ, ඉරාකයේ වැඩ බලන (භාරකාර) අග්‍රාමාත්‍යවරයා නව අග්‍රාමාත්‍යවරයකු නම් තීරණය කිරීමත් සමඟය.

ඉරාකයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස එම ධුරයේ රැඳී සිටින්නේ මුස්තාෆා අල් කදීමි ය. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් අල් සුදානී සුදුසු යැයි අල් කදීමි යෝජනා කළේය. අල් සුදානී යනු මුක්ටාඩා අල් සදාර්ගේ ප්‍රතිවාදියෙකි. මුක්ටාඩා අල් සදාර්, අල් සුදානී ට විරෝධය දැක්වීමත් සමඟ ජනතා විරෝධයක් නිර්මාණය විය. මුක්ටාඩා අල් සදාර් යනු ඉරාකයේ ප්‍රබලතම චරිතයකි. ඔහු ෂියා මුස්ලිම් ආගමික නායකයකු ලෙසත්, දේශපාලන නායකයකු ලෙසත් ජනතා ගෞරවයට පාත්‍ර වූ ඉරාකයේ ප්‍රබල චරිතයකි.

ඉරාක මහ මැතිවරණය පැවැත්වූයේ 2021 ඔක්තෝබරයේය. එහිදී මුක්ටාඩා අල් සදාර්ගේ දේශපාලන කණ්ඩායමට වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකිවුවත්, රජයක් පිහිටුවීමට නොහැකි විය. ඒ, රටේ පවතින දේශපාලන අස්ථාවර්තවය නිසාය. සෙසු දේශපාලන පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මුඛාඩා අල් සදාර් ප්‍රතික්ෂේප කළේය. ඉරාක දේශපාලන අර්බුදය ඔඩුදුවන්න වූයේ ඒ අනුවය.

මුඛාඩා අල් සදාර් ඇමෙරිකන් විරෝධියෙකි. අග්‍රාමාත්‍ය ධුරයට නම් කෙරුණු අල් සුදානී දූෂිත දේශපාලනඥයකු බව මුක්ටාඩා අල් සදාර් චෝදනා කරයි. හිටපු අමාත්‍යවරයකු මෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාරවරයකු ද වන අල් සුදානී ඉරානයේ අනුග්‍රහය ලබන දැඩි ඉරාන හිතවාදියෙකි. මෙය මුඛාඩා අල් සදාර් ප්‍රමුඛ ඔහුගේ දේශපාලන කණ්ඩායමේ නොසතුටට හේතුවකි.

2021 ඔක්තෝබර් මහ මැතිවරණයේ දී මුක්ටාඩා අල් සදාර්ගේ දේශපාලන කණ්ඩායම, පාර්ලිමේන්තුවේ ආසන 329 න් 74 ක් දිනා ගත්තේය. තනි පක්ෂයක් ලෙස වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ මුක්ටාඩා අල් සදාර්ගේ දේශපාලන කණ්ඩායමය. එසේ වුවත්, රජයක් පිහිටුවීමට බහුතරයක් ඔවුන් සතු නොවිණි. සන්ධාන රජයයක් පිහිටුවීමට සෙසු පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වුවත්, එසේ සන්ධානගත වීමට මුක්ටාඩා අල් සදාර් ට නොහැකි විය. මුක්ටාඩා අල් සදාර් අවශ්‍ය ජාතික රජයක් පිහිටුවීමටය. ඒ, ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් මෙන්ම කුර්දිවරුන් හවුල් කර ගනිමිනි. මුක්ටාඩා අල් සදාර්ගේ අවශ්‍යතාව ඉටු නොවීමත් සමඟ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වෙද්දී, තමන් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස දිගටම රැඳී සිටින බව මුස්තාෆා අල් කදීමි පැවැසුවේය.

මුක්ටාඩා අල් සදාර්ගේ ආධාරකරුවන් සිය ගණනක් ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී එය අත්පත් කර ගත්තේ ඒ අනුවය. එම දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් දකින්න ලැබෙද්දී අපට සිහිපත් වූයේ අප අරගලකරුවන් ජනපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමය.

ඉරාක පාර්ලිමේන්තුව ඇත්තේ බැග්ඩෑඩ් අගනුවර, ග්‍රීන්සෝන් (හරිත කලාපය) නමින් හැඳින්වෙන අධි ආරක්ෂිත කලාපයේය. රජයේ අමත්‍යාංශ, විදේශ තානාපති කාර්යාල ආදිය ද පිහිටා ඇත්තේ මෙම කලාපයේය. කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඉරාක ආරක්ෂක අංශ උත්සාහ කළත් එය සාර්ථක නොවිණි.

ආරක්ෂක නිලධාරීන් පෙරළා ගනිමින්, සභාගර්භයට කඩා වැදුණු විරෝධතාකරුවන් ගී ගයමින් නටමින් කෑ කෝ ගසන ආකාරය දැක්වෙන දසුන් සමාජ මාධ්‍ය ඔස්සේත් ඉන්පසු විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් විය. වහා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් ඉවත් වන්නැයි භාරකාර අග්‍රාමාත්‍ය අල් කදීමි, විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියත්, ඔවුන් ඊට කන් දුන්නේ ද නැත.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS