හයිටි ජනපති ඝාතනය



ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනකු කොටු කර ගැනීමට හැකිවුණු බවත්, එම සැකකරුවන් සහ පොලිසිය අතර සිදුවුණු වෙඩි හුවමාරුවකදී සැකකරුවන් සිවුදෙනකු මියගිය බවත්, දෙදෙනකු ජීවග්‍රහයෙන් අල්ලා ගත් බවත් හයිටි පොලිස්පති ලියොන් චාල්ස් මාධ්‍ය හමුවේ පැවැසීය.

ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනය සම්බන්ධයෙන් සාමකාමීව කටයුතු කරන්නැයි අවධාරණය කරමින්, හයිටි අන්තර්වාර අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජොසෙප් වැඩිදුරටත් කියා සිටියේ තමන් පොලිසියත් හමුදාවත් සමඟ එක්වී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවය. ජනාධිපතිවරයාගේ රාජකාරි ද අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජොසෙප්ට පැවැරිණි.

හයිටි ජනාධිපති 53 හැවිරිදි ජොවෙනෙල් මොයිස් ඝාතනය කෙරුණේ ඊයේ (7) මැදියම් රාත්‍රියේය. ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ නිල නිවසත්, පෞද්ගලික නිවසත් ඇත්තේ අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් අගනුවරය. ඊයේ (7) උදෑසන පටන් පෝට් ඕ ප්‍රින්ස් අගනුවර එකම අවුල් ජාලයක් විය. ඒ ජනාධිපති ජොවෙනෙල් මොයිස්ට අප්‍රසාදය පළ කරමින් ආරම්භ වී ඇති විරෝධතා උත්සන්න වීමත්, ප්‍රචණ්ඩවීමත් නිසාය. කඩසාප්පුවලට පහරදීම් සහ කොල්ලකෑම් ද වාර්තා වීමට පටන් ගත්තේය.

ජනාධිපති ජොවෙනෙල් මොයිස්, බිරිඳ මාටීන් ද සමඟ පෞද්ගලික නිවසට යන්නට ඇත්තේ ද ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින් යැයි බටහිර මාධ්‍ය පවසයි. කෙසේ නමුත් ඒ බව තහවුරු වී නැත. පිකප් ට්‍රක් රථවල නැඟුණු සන්නද්ධ කණ්ඩායමක් එරට වේලාවෙන් අලුයම 1 ට පමණ ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණේ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් පවා පුදුමයට පත් කරමින් යැයි හයිටි රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

සන්නද්ධ පිරිස කළ වෙඩි තැබීමෙන්, ජනාධිපති මොයිස් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. බරපතල තුවාල ලැබූ බිරිඳ මාටීන් දිවි ගලවා ගත්තාය. ඇයට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලැබුණි. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ජනාධිපති ආර්යාවගේ තත්ත්වය යහපත් නොවන බවය. කෙසේ නමුත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය කඩිනමින් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා බලා රැගෙන යෑම ද සිදුවිය.‍

ජොවෙනෙල් මොයිස්, වෙඩි තබා ඝාතනය කළේ යැයි ජාතිය අමතමින් නිවේදනය කළේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයාය. එය ම්ලේච්ඡ ඝාතනයක් යැයි අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජොසෙප් පෙන්වා දුන්නේය. ජනතාවට සන්සුන් වෙන්නැයි පවසමින්, හදිසි නීතිය ක්‍රියාත්සක කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේය. ඒ අනුව, සැකකරුවන් සොයා යෑමට, සැකපිට ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවස්ථාව ලැබුණි.

ඝාතනය හෙලා දකිමින් ලෝක නායකයෝ ඒ සම්බ්නධයෙන් අප්‍රසාදය පළ කරන්න වූහ. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් ඒ අතර වෙති. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනය ම්ලේච්ඡ ක්‍රියාවක් බවය.

ඊයේ (7) සවස් වනවිටම හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතකයන් සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ විය. ඝාතකයන්ට කිසිදු සමාවක් ලබා නොදෙන බවත්, ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට නොහැකි නම් ඔවුන්ට වෙඩි තබන බවත් පොලිස්පති ලියොන් චාල්ස් මාධ්‍ය හමුවේ පැවැසීය. ඝාතනයට සම්බන්ධ වූවන් ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ බස හොඳින් කතා කළ අය බවත්, ඔවුන් විදේශයකින් ආ කුලීහේවායන් යැයි සැක කරන බවත් පොලිසිපතිවරයා වැඩිදුරටත් පැවැසීය. හයිටියේ නිල භාෂාව වන්නේ ප්‍රංශය.

ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනය සම්බන්ධයෙන් වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් බාරගනු ලැබ නැත. මෙම 2021 වසරේ පෙබරවාරියේ ජනාධිපති ජොවෙනෙල් මොයිස් මාධ්‍ය හමුවේ අනාවරණය කළේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් තමන් ඝාතනය කර බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කරන බවටය. ඊයේ (7)  ඝාතනයට පැමිණි පිරිස කලු ඇඳුමින් සැරසී, නවීන පන්නයේ ගිනි අවිවලින් සන්නද්ධවී සිටි බව හයිටි පොලිසිය කියයි. ඔවුන්, මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සොයා වැටලීම් සිදු කරන ඇමෙරිකානු DEA ආරක්ෂක අංශ සාමාජිකයන්ට සමාන යැයි පොලිසියෙන් ලැබුණු තොරතුරු අනුව හයිටි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කිරීමට හයිටියේ ඇමෙරිකන් තානාපති බොචිට් එඩ්මොන්ඩ් කටයුතු කළේය. හයිටි ජනාධිපති ජනාධිපති ජොවෙනෙල් මොයිස් ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන්ට ඇමෙරිකාවේ සහාය හිමිවීම රහසක් නොවෙයි. හයිටියේ ඇමෙරිකන් තානාපති බොචිට් එඩ්මොන්ඩ් වැඩි දුරටත් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඝාතකයන්, ඇමෙරිකන් DEA නිලධාරීන් මෙන් පෙනී සිටීමට උත්සාහ ගෙන ඇතැයි පෙනී යන බවය.

හයිටිය ඇමෙරිකා මහද්වීපයට අයත් කැරිබියානු රාජ්‍යයකි. පසුගිය කාලය පුරාවට හයිටියේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න විය. විරෝධතා සහ උද්ඝෝෂණ දිනෙන් දින වර්ධනය වෙද්දී, ජනාධිපති ජොවෙනෙල් මොයිස් සම්බන්ධයෙන් හයිටි වැසියන්ගේ අප්‍රසාදය පළවිය.

ජොවෙනෙල් මොයිස්, හයිටි ජනාධිපති ධුරයට පත් වූයේ 2017 වසරේදීය. 2018 දී, ජනාධිපති බලතල අනුව, විශේෂ නියෝගයක් හරහා ජොවෙනෙල් මොයිස් දිගටම ධුරයේ රැදී සිටීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගත්තේය. ජනාධිපති ජොවෙනෙල් මොයිස් සම්බන්ධයෙන් හටගත් අර්බුදය මෙයයි.

2019 පැවැත්වීමට නියමිත මැතිවරණය ප්‍රමාද කිරීමට ජොවෙනෙල් මොයිස් කටයුතු කළ අතර, ඔහුට ඉල්ලා අස්වෙන්නැයි බලකරමින් පසුගිය වසර දෙකක කාලය පුරා හයිටි විපක්ෂ දේශපාලන කණ්ඩායම් විරෝධතා පැවැත්වීය. ජොවෙනෙල් මොයිස් දිගටම බලයේ රැඳී සිටීමට කටයුතු කිරීම, හයිටි දේශපාලනික කණ්ඩායම් අතරේ බෙදීමක් ද ඇති කළේය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත විපක්ෂ ක්‍රියාකාරීන් දිගින් දිගටම මර්දනයට ලක් වෙද්දී, විරෝධතා ද උත්සන්න විය.

දිළිඳුකමින් බැටකන හයිටිය ස්වාභාවික ව්‍යසනවලට ද ගොදුරු වෙයි. 2010 දී හයිටිය මහා භූමිකම්පාවකින් කැලඹුණේ ලක්ෂ දෙකකට වැඩි පිරිසකට මරු කැඳවමිනි. එම භූමිකම්පාවෙන් පසු හයිටියේ යටිතල පහසුකම් මෙන්ම ආර්ථිකය ද යළි ගොඩගැනීමට නොහැකි ආකාරයට කඩා වැටුණි. හයිටියේ සියයට 60 කට වැඩි පිරිසක් ධරිද්‍රතාවයෙන් පීඩා විදිති. ඒ සමඟ හයිටියේ අවනීතිය රජ කරන්න පටන් ගත්තේය. පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, පැහැර ගැනීම් ආදිය දෛනික ජීවිතයේ කොටසක් විය. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා හයිටියේ රැඳී සිටින්නේ 2004 වසරේ සිටය. ඒ, රට ස්ථාවර කිරීමටය. 2017 දී එම හමුදා හයිටියෙන් ඉවත් කර ගැනුනත් හයිටිය මුහුණ දෙන අර්බුදවලට කිසිදු විසඳුමක් ලැබුණේ නැත.

අද වන විට හයිටි රාජ්‍යය 'කොවිඩ් 19' හෙවත් නව කොරේනා වයිරසයෙන් ද බැටකමින් සිටී. ඇමෙරිකා මහද්වීපයට අයත්, කොරෝනා වසංගතයෙන් ද දරුණු ලෙස බැටකන රාජ්‍යයක් ලෙස ද හයිටිය සැලකෙයි. හයිටියේ ජනගහනය මිලියන 11 කි. 1800 ගණන්වල හයිටිය ප්‍රංශ කොලනියකි. හයිටියට නිදහස හිමිවූයේ 1804 වසරේදීය. හයිටියේ නිල භාෂාව ප්‍රංශ භාෂාව වී ඇත්තේ ඒ නිසාය. දශක ගණනාවක් තිස්සේ දැඩි සූරා කෑමට ලක්වුණු හයිටිය, ඇමෙරිකා මහද්වීපයේ දිළිඳුතම රාජ්‍යය ද වෙයි. හයිටියේ කුමන පක්ෂයක් බලයට පත්වුවත්, කවුරු ජනාධිපති හෝ අගමැති ධුරය බාර ගත්තත් තමන්ට සෙතක් නොවන බවත්, තමන්ගේ ජීවන තත්ත්වය උසස් නොවන බවත් හයිටි වැසියෝ හොඳින් දනිති.

(ඩේලිමේල්)


RECOMMEND POSTS