ලන්ඩන් එන ලොකුම සතා



මිහිමත වාසය කළ ලොකුම සත්වයා ලන්ඩනයට එන්නයි හදන්නේ. මේ සත්වයා ඩයිනසෝරයෙකි. හරියටම කීවොත්, සෝරපෝඩ් (Sauropod) වර්ගයේ ඩයිනසෝරයෙකි. සෝරපෝඩ් යනු සිවු පා ඩයිනසෝරයන්ය. දෙපා ඩයිනසෝරයන් හැඳින්වෙන්නේ තෙරෝපෝඩ් (Theropod) යනුවෙනි.

ඩයිනසෝර යෝධයා ලන්ඩනයට පැමිණෙන්නේ උදා වුණු මෙම 2023 නව වසරේ ය. ඩයිනසෝරයන් අද නැහැ. ඩයිනසෝරයන් ජීවත් වූයේ වසර මිලියන 65 කට පෙර අතීතයේය. ඩයිනසෝරයන් වඳ වීමට හේතුව, යෝධ ඇස්ට්‍රොයිඩයක් (Asteroid) එසේත් නැතිනම් ග්‍රහකයක් පොළොවේ හැපීමය. ඩයිනසෝරයන් සම්බන්ධයෙන් ඉතිරි වී ඇත්තේ පොසිල සාක්ෂි පමණි. ඒ, පොසිල සාක්ෂිවලින් ඩයිනසෝරයන්ගේ ජීවිත ගැන දැනගත හැකි දේ බොහොමය.

ඩයිනසෝරයන් අද ජීවතුන් අතර නැතිනම්, ලන්ඩනයට එන්නේ කවුරුද? ලන්ඩනයට එන්නේ, මිහිමත වාසය කළ ලොකුම සත්වයා ලෙස සැලෙකන යෝධ ඩයිනසෝරයාගේ යෝධ අස්ථි අනුරුව (Replica) කි. මේ අස්ථි අනුරුව ගෙන එන්නේ ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය (Natural History Museum) ටය. ඒ ලබන මාර්තු මාසයේ ප්‍රදර්ශනයට තැබීමටය.

වසර මිලියන ගණනක් ඈත අතීතයේ වගුරක් වටකරගත් ප්‍රාග් ඓතිහාසික වනාන්තරයක, බර අඩි තබමින්, පෙද පාසි බුදිමින් නිදැල්ලේ හැසිරෙන අහිංසක යෝධයෙකි. මේ යෝධයා, ‘පැටගෝ-ටයිටන් මයෝරම්’ (Patagotitan Mayorum) නමැති  දිගු බෙල්ලක්, වලිගයක් සහ විශාල සිරුරක් ඇති ඩයිනසෝරයෙකි. මිහිමත වාසය කළ විශාලතම සත්වයා, ‘පැටගෝ-ටයිටන් මයෝරම්’ ය. අනතුරක් ගැන කිසිදු බියක් නොමැතිව මේ යෝධයා තමන්ගේ පාඩුවේ තම කටයුතුවල නියැලෙමින් සිටී. තමන් තරම් දැවැන්තයකුට අනතුරක් කාගෙන්වත් නැති බව ඩයිනසෝරයා දැන සිටියේය. ඒත් සිතුවා වැරදිය.

මීටර් 8 ක් (අඩි 26 ක්) පමණ උස මේ යෝධයා, ඒ වනවිටත් තියුණු දත් ඇති බිහිසුණු විලෝපිකයකුගේ ඇස ගැටී හමාරය. ගස් අතරේ සැඟවී, කුරුමානම් අල්ලන්න වූයේ ‘ටයිරැනෝ-ටයිටන්’ (Tyrannotitan) නමැති තෙරෝපෝඩ් වර්ගයේ දෙපා ඩයිනසෝරයෙකි. ‘ටයිරැනෝ-ටයිටන්’ ද බිහිසුණු දැවැන්තයෙකි. එහෙත්, ‘පැටගෝ-ටයිටන්’ තරම් යෝධයෙක් නොවෙයි. තියුණු උල් දත් සහ සවිමත් හකුපාඩා ‘ටයිරැනෝ-ටයිටන්’ට තිබුණි.

අවස්ථාව ආ සැණින්, කුරුමානම් අල්ලමින් සිටි විලෝපියකයා, යෝධ ඩයිනසෝරයා වෙත පැන්නේය. ශාක භක්ෂක යෝධයකු සහ මාංශ භක්ෂක යෝධයකු අතරේ බිහිසුණු සටනක් ඇරැඹිණි. දත් විලිස්සා ‘පැටගෝ-ටයිටන්’ ගේ සිරුරට කඩා පැන්න ‘ටයිරැනෝ-ටයිටන්’ පිට කොන්ද සිය තියුණු දත්වලින් තදින් සැපුවේය. එහෙත්, ‘පැටගෝ-ටයිටන්’ තරම් යෝධයකු සමඟ තනි ‘ටයිරැනෝ-ටයිටන්’ ඩයිනසෝරයකුට කළ හැකි දෙයක් නොවිණි. ‘පැටගෝ-ටයිටන්’ සිය විසල් සිරුර සොලවමින්, විලෝපිකයා විසි කර දැමීමට සමත් විය. වැඩි වාසිය ශාක භක්ෂක ඩයිනසෝර යෝධයා සතු විය.

‘පැටගෝ-ටයිටන්’ගේ රහස් අවිය අඩි 52 ක් දිග වල්ගයයි. දිගු වල්ගයෙන් විලෝපිකයාට වැරෙන් පහරක් එල්ල කෙරුණි. එය ‘ටයිරැනෝ-ටයිටන්’ පන්නා දැමීමට සමත් විය. ඒ අනුව තව දිනක්, වගුරු වනාන්තරයේ සැරසැරීමේ වාසනාව ‘පැටගෝ-ටයිටන්’ සතුවිය.

මිහිමත ජීවත් වූ විශාලතම සත්වයා ලෙස පිළිගැනනේනේ මීටර් 8 ක් උස, නාසයේ සිට වල්ගය කෙළවර දක්වා දිග මීටර් 35 ක් දිග, ටොන් 60 ක් හෝ 70 ක් බර ‘පැටගෝ-ටයිටන්’ ය. දැන් ‘පැටගෝ-ටයිටන්’ සම්පූර්ණ අස්ථි අනුරුවක් (මේ අනුරුව සැබෑ අස්ථිවලින් නිර්මාණය කළ එකක් නොවෙයි.) ගෙන එන්නේ ලන්ඩන් අගනුවර ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයටය. ‘පැටගෝ-ටයිටන්’ අස්ථි ප්‍රදර්ශනයට තැබෙනු ඇත්තේ කෞතුකාගාරයේ ‘වෝටර් හවුස්’ යන නමින් නම් කළ ශාලාව තුළය.

මෙම ශාලාවේ දැනටමත් දැවැන් සෝරපෝඩ් වර්ගයේ බෙල්ල දිග, වල්ගය දිග ඩයිනසෝරයකුගේ අස්ථි අනුරුවක් ඇත. මෙම ඩයිනසෝරයා ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රධාන සංචාරක ආකර්ශණයයි. ඩයිනසෝරයාගේ නම ‘ඩිපී’ ය. ‘පැටගෝ-ටයිටන්’ අස්ථි අනුරුව ‘වෝටර් හවුස්’ ශාලාවට ගෙන එද්දී ‘ඩිපී’ එතැනින් ඉවත් කෙරෙයි. ‘ඩිපී’ සහ ‘පැටගෝ-ටයිටන්’ ඩයිනසෝරයන් දෙදෙනා සසඳද්දී, අහසට පොළොව වැනි යැයි ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශන කටයුතු සම්බන්ධ ප්‍රධානී සිනේඩ් මැරොන් පැහැදිලි කර තිබේ.

‘පැටගෝ-ටයිටන්’ ඩයිනසෝරයා ලන්ඩන් කෞතුකාගාරයට ගෙන ඒම සම්බන්ධයෙන් ගැටලුවක් ද තිබේ. ඒ, කෞතුකාගාරයේ ‘වෝටර් හවුස්’ ශාලාවට යෝධ අස්ථි ගෙනැවිත් එකලැස් කිරීමට, එම ශාලාවේ ඉඩ ප්‍රමාණවත් වේවිදැයි යන්න සම්බන්ධයෙනි. “මා හිතනවා පැටගෝ-ටයිටන් අපේ ප්‍රධාන ශාලාවේ ඉඩ ඇති වේවි” මෙසේ මැරොන්ය.
‘පැටගෝ-ටයිටන්’ බොරු අස්ථි අනුරුව නිර්මාණය කර ඇත්තේ ආජන්ටිනාවේ, පොසිල විද්‍යා කෞතුකාගාරයේ (Museo Paleontológico Egidio Feruglio) පොසිල විද්‍යාඥ කණ්ඩායමය.

‘පැටගෝ-ටයිටන්’ යෝධ පොසිල අස්ථි පළමුවෙන්ම සොයා ගැනීම කළේත් මෙම පොසිල විද්‍යාඥයන්ය. ඒ, 2014 වසරේදීය. වසර මිලියන 100 ක් පැරැණි ‘පැටගෝ-ටයිටන්’ ඩයිනසෝර අස්ථි සොයා ගැනීමට ආජන්ටිනා පොසිල විද්‍යාඥයන් සමත් වීම ඉතා වැදගත් මෙන්ම ඉතා වටිනා සිදුවීමක් ද විය.

එදා ‘පැටගෝ-ටයිටන්’ ඩයිනසෝරයා කොතරම් විශාලදැයි පෙන්වීමට, ඩයිනසෝර පොසිල අස්ථි සොයා ගැනීමට දායක වුණු පොසිල විද්‍යාඥ ආචාර්ය දියේගෝ පෝල්, ඩයිනසෝරයාගේ කලවා අස්ථිය අසල වැතිරී ඡායාරූපයක් ගත්තේය. ලොව ප්‍රධාන පෙළේ පුවත් නාළිකාවලත්, පුවත්පත්වලත්, අන්තර් ජාලයේත් පළ වූයේ එම ඡායාරූපයයි. මේ සටහන සමඟ ද එම ඡායාරූපය පළ වෙයි.

එදා 2014 වසරේ, ආජන්ටිනාවේ, පැටගෝනියා (Patagonia) පළාතේ කළ කැණීම්වලදී ‘පැටගෝ-ටයිටන්’ අස්ථි හමුවෙන අවස්ථාවේදී බීබීසී වාර්තා කණ්ඩායමක් ද එම ස්ථානයේ සිටියේය. පසුව ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඒ සම්බන්ධයෙන් වාර්තා වැඩසටහනක් ද නිර්මාණය කළේය.

‘ඇටන්බරෝ ඇන්ඩ් ද ජයන්ට් ඩයිනසෝර්’ (Attenborough And The Giant Dinosaur) යනුවෙන් බීබීසී හරහා අපට නැරැඹීමට හැකි වූයේ එයයි. ඩයිනසෝර යෝධයා ‘පැටගෝ-ටයිටන්’ (Patagotitan) යනුවෙන් නම් කෙරුණේ පොසිල අස්ථි හමුවූයේ පැටගෝනියා Patagonia පළාතේ කැණීම් බිමකින් වීම නිසාය. ‘ටයිටන්’ (Titan) යන නම යෙදුණේ යෝධයකු වීම නිසාය. ග්‍රීක දේව පුරාණයට අනුව, ටයිටන්වරුන් යනු යෝධයන්ය.

‘පැටගෝ-ටයිටන්’ බොරු අස්ථි අනුරුව, ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයේ තැබීමට ගෙන එද්දී, ආජන්ටිනාවෙන් හමුවුණු ‘පැටගෝ-ටයිටන්’ කලවා අස්ථිය ද කෞතුකාගාරයට ලබා දීමට ආජන්ටිනා පොසිල විද්‍යා කෞතුකාගාරය කැමැත්ත පළ කර තිබේ. ඒ තාවකාලික ප්‍රදර්ශයක් සඳහා පමණි.

‘පැටගෝ-ටයිටන්’ ඩයිනසෝර යෝධයාගේ සැබෑ කලවා අස්ථිය පමණක් නොව, හමුවුණු සෙසු පොසිල අස්ථිවලට ස්ථිර නිවහන ආජන්ටිනා පොසිල විද්‍යා කෞතුකාගාරයයි. මෙම කලවා අස්ථිය පමණක් මීටර් 2.4 ක් දිග වන අතර බර කිලෝ 500 කි. ‘පැටගෝ-ටයිටන්’ කලවා අස්ථිය සහ අනුරුව යුරෝපා කලාපීය රටක ප්‍රදර්ශනයට තැබෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි. ලන්ඩනය යනු එංගලන්තයේ අගනුවර වන අතර එංගලන්තය හෙවත් මහා බ්‍රිතාන්‍යය යුරෝපා රටකි.

‘පැටගෝ-ටයිටන්’ ඩයිනසෝරයාගේ සොයාගත් පොසිල අස්ථි අතරේ උගේ කශේරුකාවේ අස්ථි ද තිබේ. එම අස්ථිවලින් අස්ථි කීපයක තුවාලයක් සිදුවී ඇති බව පෙන්වන සාක්ෂි ඇතැයි ඒවා සියුම් ලෙස නිරීක්ෂණය කළ පොසිල විද්‍යාඥයෝ එදා පැහැදිලි කළහ. ‘පැටගෝ-ටයිටන්’ අස්ථි හමුවුණු කැණීම් බිමෙන් ‘ටයිරැනෝ-ටයිටන්’ පොසිල අස්ථි ද හමුවිය.

‘පැටගෝ-ටයිටන්’ යෝධයා සහ ‘ටයිරැනෝ-ටයිටන්’ විලෝපික දෙපා ඩයිනසෝරයා එකම කාලයක වාසය කළ බව පොසිල අස්ථි කාල නිර්ණයෙන් පැහැදිලි විය. මිලියන ගණනක් ඈත අතීතයේ පැටගෝනියා කැණීම් භූමිය අයත් පළාත වගුරු වනාන්තරයක් වූ බවට ද සාක්ෂි විද්‍යාඥයන්ට හමුවී තිබේ.

පොසිල විද්‍යාඥයන් රහස් පරීක්ෂකයන් වැනිය. ‘ටයිරැනෝ-ටයිටන්’ පොසිල අස්ථි හිස් කබලක දත් පරීක්ෂා කිරීමේදීත්, තුවාලය සහිත ‘පැටගෝ-ටයිටන්’ කොඳු ඇට අස්ථි පරීක්ෂා කිරීමේදීත් ඔවුන්ට කරුණු කාරණා අවබෝධ විය. වගුරු වනාන්තරයේ නිදැල්ලේ නිදහසේ ජීවත් වුණු ‘පැටගෝ-ටයිටන්’ යෝධයාගේ සිරුරට පැන සපා කමින් ඌ බිම දමා ගොදුරු කර ගැනීමට ‘ටයිරැනෝ-ටයිටන්’ උත්සාහ ගත් බව පොසිල අස්ථි සාක්ෂිවලින් තහවුරු වූයේ ඒ අයුරිනි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS