බෙසෝස් ගමනට සූදානම්



ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකන බිලියනපති ඇමෙරිකන් ජාතික ජෙෆ් බෙසෝස්, සිය බ්ලූ ඔරිජින් සමාගම නිපදවූ විශේෂ රොකට්ටුව සහ ගගන කැප්සියුලය ආධාරයෙන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට නියමිතය.

ජෙෆ් බෙසෝස් යනු ඇමසන් සමාගම ආරම්භ කළ තැනැත්තා වන අතර ඇමෙරිකාවේ අංක එකේ පුවත්පතක් වන 'වොෂින්ටන් පෝස්ට්' හිමිකාරීත්වය ඇත්තේ ද ඔහුටය. 57 හැවිරිදි බෙසෝස් පෘථිවි වායු ගෝලයත් අභ්‍යවකාශයත් හමුවන 'කාමන් සීමාව' තෙක් ගමන් කිරීමට සූදානමින් සිටී.

දින දෙකක් වැනි කෙටි කාලයක පුහුණුවීම්වලින් පසු ගගනගාමියකු ලෙස අභ්‍යවකාශයට ගොස් ශුන්‍ය ගුරුත්වයේ පා වී, පහළ පෘථිවිය නරඹා, ආපසු පැමිණීම අභ්‍යවකාශ සංචාරවල අරමුණය. අභ්‍යවකාශ ගමන්බිමන් මේ වනවිට පෞද්ගලීකරණයටත් වාණිජකරණයටත් ලක් වී අවසන්ය‍.

අතමිටසරු ඕනෑම කෙනකුට, ගගනගාමියකු ලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට ඉඩ ලැබේ. අභ්‍යවකාශ සංචාර ආරම්භ කරමින් පළමුවෙන් අභ්‍යවකාශය ජය ගැනීමට, ලොව බිලියනපතියන් අතරේ තරඟයක් පැවැතිණි. එම තරඟය ජයග්‍රහණය කළේ බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන්ය.

බ්‍රැන්සන් ඔහුට අයත් වර්ජින් ගැලැක්ටික් සමාගම නිපදවූ සුපර් සොනික් ගගන යානයෙන් තවත් පස් දෙනකු ද සමඟ පසුගිය 11 වැනිදා පෘථිවිය අද්දර අභ්‍යවකාශය හමුවන සීමාවට ගොස් ආපසු පැමිණියේය.

අභ්‍යවකාශයට යෑම යනු, පෘථිවි වායුගෝලයේ ඉහළටම ගොස් 'කාමන් සීමාව' පසු කිරීමය. මෙම සීමාව පිහිටා ඇත්තේ කි.මී. 100 ක් ඉහළිනි. පෘථිවි වායුගෝලයේ අද්දර එසේත් නැතිනම්, අභ්‍යවකාශය හමුවන සීමාව ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන්නේ මෙම සීමාවය.

ඇමෙරිකන් ජාතික ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්, අභ්‍යවකාශයට යන බව නිවේදනය කළේ බ්‍රැන්සන් ට පෙරය. වර්ජින් ගැලැක්ටික් සමාගම සංචාරකයන් අභ්‍යවකාශයට ගෙන යෑමට නිපදවා ඇත්තේ ගුවන් යානයක් හා සමාන ගගන යානයක් වන නමුත් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගම අභ්‍යවකාශ සංචාර සඳහා නිපදවා ඇත්තේ අධි බලැති රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයකි.

රොකට්ටුව නම් කර ඇත්තේ නිව් ෂෙපර්ඩ් යනුවෙනි. ඒ, අභ්‍යවකාශයට ගිය පළමු ඇමෙරිකන් ගගනගාමියා ඇලන් බී. ෂෙපර්ඩ්ට සිහි ගන්වමිනි. කැප්සියුලය නම් නම් කර ඇත්තේ බ්ලූ ඔරිජින් යන නමිනි.

බෙසෝස්, ජූලි 20 වැනිදා වික්‍රමයට තෝරාගෙන ඇත්තේ නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් මුලින්ම සඳට පය තැබුවේ ජූලි 20 වැනිදා දිනක නිසාය.

නිව් ෂෙපර්ඩ් රොකට්ටුවට හෝ බ්ලූ ඔරිජින් ගගන කැප්සියුලයට නියමුවන් නොමැති අතර, සියල්ල පරිගණකයෙන් සැලැසුම් කළ ආකාරයට ස්වයංක්‍රීයව සිදුවෙයි. රොකට්ටුව ගගන කැප්සියුලය රැගෙන ගුවනට යෑම, පෘථිවි වායුගෝලය අද්දරට කැප්සියුලය කල්ලු කරමින් රොකට්ටුව වෙන්වී පහළට වැටීම ආදිය සිදුවන්නේ පෙර සැලැසුම් අනුවය.

රොකට්ටුවට අකරතැබ්බක් සිදුවුවහොත්, කැප්සියුලය ගැලවී ගගනගාමීන් ආරක්ෂා කර ගන්න අයුරින් නිපදවා ඇත. මෙම ආරක්ෂිත උපක්‍රම පසුගිය වසර ගණන පුරාවට අත්හදා බලා ඇති බව බෙසෝස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. තමන් මෙම ගමනට සහභාගී වන්නේ එය ආරක්ෂිත බව පෙන්වීමට යැයි ද බෙසෝස් අවධාරණය කර තිබේ.


බෙසෝස් සහ වොලී ෆන්ක්

බෙසොස් මෙම වික්‍රමයට සහභාගී වන්නේ තනිවම නොවන අතර, බෙසෝස්ගේ සොහොයුරු 53 හැවිරිදි මාර්ක් ද ගමනට එක් වෙයි.

ඊට අමතරව, බෙසෝස්ගේ විශේෂ ආරාධනාවකට අනුව 82 හැවිරිදි වොලී ෆන්ක් ද ගමනට එක්වෙයි. වොලී ෆන්ක් යනු දශක හයක් අභ්‍යවකාශයට යෑමට උත්සාහ කළත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු ගගනගාමිනියකි. ඒ අනුව, ඇය අභ්‍යවකාශයට යන වයස්ගතම පුද්ගලයා වනු ඇත.

බෙසෝස් සමඟ මෙම ගමනට එක් වන සිවුවැනියා කෝටිපති තරුණයෙකි. ඔහු කවුරුන්දැයි නිවේදනය කෙරුණේ පසුගිය සති අන්තයේය. 18 හැවිරිදි ඔලිවර් ඩේමන් නමැති ඔහු නෙදර්ලන්ත ජාතික කෝටිපතියෙකි.

18 හැවිරිදි ඔලිවර් ඩේමන්

ඔලිවර් ඩේමන් ට  මෙම අවස්ථාව උදා වූයේ ඔහුට පෙර මුදල් ගෙවා ආසනය වෙන් කළ කෝටිපති ව්‍යාපාරිකයාට හදිසි වැඩක් යෙදීම නිසා ඔහුට ගමනට සහභාගී වීමට නොහැකි බව දැනුම් දුන් නිසාය. ඔහු කවුරුන්දැයි අනාවරණය වී නැත.

බ්ලූ ඔරිජින් ගගන කැප්සියුලයේ ආසන වෙන්දේසි කරද්දී, ඩේමන් ඇමෙරිකන් ඩොලර් මිලියන 28 ක් ගෙවා ආසනයක් වෙන් කරගෙන තිබේ. අභ්‍යවකාශයට යන වයස්ගතම පුද්ගලයා වොලී ෆන්ක් වනු ඇති අතර අභ්‍යවකාශයට යන ළාබාලතම තැනැත්තා ඔලිවර් ඩේමන් වනු ඇත.

රොකට්ටුව ගුවන්ගතවීමට නියමිතව ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් කාන්තාරයේ 'ලොන්ච් සයිට් වන්' මධ්‍යස්ථානයෙනි. මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වැන් හෝන් නගරයේ සිට කිලෝ මීටර් 40 ක් වියලි කාන්තාර ප්‍රදේශයකය.

'බ්ලූඔරිජින්' වෙබ් අඩවිය හරහා රොකට්ටුව ගුවන්ගත වීම, කැප්සියුලය වෙන්වී අභ්‍යවකාශයට යෑම සහ එය දැවැන්ත පැරෂූට් තුනක ආධාරයෙන් ආපසු ටෙක්සාස් කාන්තරයට පතිත කිරීම ආදිය සජීවීව විකාශය කෙරෙනු ඇත.

සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS