සම්මාන දිනූ ආසියානුවෝ



බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි ඇවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල පසුගිය දා 93 වැනි වරට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්විණි. මෙවර සිනමා සම්මාන උළෙල සුවිශේෂී එක්ක විය. ඒ, කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව එය පැවැත්වීම නිසාය.

මීට පෙර මේ අයුරින් ඔස්කාර් සිනමා සම්මාන උළෙලක් පවත්වා නැතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. සාමාන්‍යයෙන් ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන්නේ ලොස් ඇන්ජලීස් ඩොල්බි රඟහලේදීය. මෙවර, ඇන්ජලීස් යූනියන් ස්ටේෂන් හි පැවැත්වුණු සිනමා සම්මාන උළෙලට නරඹන්නන් හෝ අමුත්තන් හෝ සහභාගීකරවා ගැනුනේ නැත. සම්මාන උළෙල මෙහෙයවීමට විශේෂිත කෙනකු නොසිටි අතර නැටුම් ගැයුම් බොහොමයක් දකින්න ලැබුණේ ද නැත.

යූනියන් ස්ටේෂන් වෙත පැමිණ සිටියේ නාම යෝජනා ලැබුණු නළු නිළියන් සහ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ සීමිත පිරිසක් පමණි. එසේ පැමිණි පිරිස අසුන් ගන්වා තිබුණේ සමාජ දුරස්ථභාවය රැක ගනිමින් එක් මේසකට දෙන්නා හෝ තුන්දෙනා බැගිනි. මුහුණු ආවරණ නීතිය දැඩිව ක්‍රියාත්මක නොවුණු නමුත් නළු නිළියෝ බොහෝ දෙනෙක් මුහුණු ආවරණ පැලඳ සිටියහ. සම්මාන උළෙලට ආරාධනා ලැබූ බොහෝ දෙනකු ලොස් ඇන්ජලීස් වෙත පැමිණ නොසිටි අතර ඔවුහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්මාන උළෙල සමඟ එක් වූහ.

මෙවර සම්මාන උළෙලේ තවත් විශේෂත්වයක් වූයේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය කාන්තා අධ්‍යක්ෂකවරියකට හිමිවීමය. ඇය 39 හැවිරිදි ක්ලෝවී චාව් ය. ක්ලෝවී, චීන ජාතික කාන්තාවක වන අතර ඇය ඇමෙරිකා පැමිණ ඇත්තේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමටය.

සිනමාකරණය හදාරා ඉදිරියට ගිය ක්ලෝවි දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියක ද වන්නීය. ක්ලෝවි මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂකවරිය වූයේ ඇය අධ්‍යක්ෂණය කළ 'නෝමැඩ්ලෑන්ඩ්' වෙනුවෙනි. ඔස්කර් සිනමා සම්මාන උළෙලකදී, කාන්තාවක හොඳම අධ්‍යක්ෂිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙයයි.

පළමු වරට අධ්‍යක්ෂකවරියක් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ 2010 වසරේදීය. ඒ, කැතරීන් බිගලෝ ය. කැතරීන් බිගලෝ ට එම සම්මානය හිමිවූයේ 'හාට් ලොකර්' චිත්‍රපටය වෙනුවෙනි. 'නෝමැඩ්ලෑන්ඩ්' මෙවර හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත් හොඳම නිළියට හිමි සම්මානයත් දිනා ගත්තේය.

මීට පෙර ඇමෙරිකාවේ පැවැති ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු බටහිර සිනමා සම්මාන උළෙලවල හොඳම චිත්‍රපටය වූයේ ද 'නෝමැඩ්ලෑන්ඩ්' ය. ක්ලෝවී චාව් සිනමාකරණයට පිවිසියේ 2015 දී 'සොංග් මයි බ්‍රදර්ස් තෝට් මී' සිනමා නිර්මාණය හරහාය. ඇගේ දෙවැනි චිත්‍රපටය වූයේ 2017 වසරේ එළිදැක්වූ 'ද රයිඩර්' ය.

ක්ලෝවී සිනමා නිර්මාණ සියල්ල විචාරක පැසැසුමට ලක් වී ඇත. ක්ලෝවීගේ මීළඟ චිත්‍රපටය වන්නේ මාවල් සුපිරි වීරයන්ගේ වික්‍රමයකි. ඒ, 'ද ඉටර්නල්ස්' ය. මාවල් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන පළමු ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂකවරිය වන්නේ ද ක්ලෝවී චාව් ය.

ක්ලෝවී ලැබූ ජයග්‍රහණයට බටහිර රටවලින් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුණත්, චීන මාධ්‍යවලින් ඒ සම්බන්ධයෙන් කිසිදු පුවතක් පළ කර නැත. චීන මාධ්‍ය ක්ලෝවී චාව් සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි. චීන රජය සහ මාධ්‍ය එම පුවත වාරණය කළේය. ඒ, ඇය චීන රජය විවේචනය කරන සිනමාකරුවකු ලෙස චීන රජයේ උදහසට ලක් වී සිටින බැවිනි. මෙවර ඔස්කාර් සිනමා සම්මාන උලෙළේ තවත් සම්මානයක් ආසියානු නිළියකට හිමිවිය. එය ද සුවිශේෂී සිදුවීමකි. ඒ, හොඳම සහාය නිළියට හිමි සම්මානයයි.

මෙම සම්මානය දිනා ගැනීමට සමත් වූයේ දශක පහකට ආසන්න කාලයක් රංගනයේ නියැළී සිටින දකුණු කොරියානු ජාතික නිළියකි. ඇය 73 හැවිදිරි යො යො ජෙංග් ය. ඔස්කාර් සම්මාන උළෙලකදී හොඳම සහාය නිළිය කොරියානු නිළියක් වුණු පළමු අවස්ථාව මෙයයි. කෙසේ නමුත් ඔස්කාර් සම්මාන උළෙලකදී හොඳම සහාය නිළිය වුණු පළමු ආසියානු ජාතිකයා යො යො ජෙංග් නොවේ.

මීට පෙර 1958 දී ජපන් ජාතික නිළියක මෙන්ම ගායිකාවක ද වන මියෝෂී උමෙකි හොඳම සහාය නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනාගෙන තිබේ. යො යො ජෙංග් පළමුවෙන් රංගනයට පිවිසියේ කොරියන් රූපවාහිනී මාලා නාටක හරහාය. රූපවාහිනී මාලා නාටක රැසක මෙන්ම කොරියන් සිනමා නිර්මාණ රැසකට ඇය මේ වනවිට දායක වී සිටින්නීය. මෙවර ඔස්කාර් සිනමා සම්මාන උලෙළේදී යො යො ජෙංග් හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ 'මිනාරි' චිත්‍රපටය වෙනුවෙනි. මෙය ඇමෙරිකන් සිනමාකරු ලී අයිසෙක් චැන්ගේ අධ්‍යක්ෂණයකි.

රොයිටර්


RECOMMEND POSTS