ස්පේස් එක්ස් ගමන් අරඹයි



අභ්‍යවකාශ ගමන් බිමන්, පෞද්ගලීකරණයටත් වාණිජකරණයටත් ලක් කරමින් පළමුවෙන් ගගන සංචාර ආරම්භ වූ හැටි මතකද? අතමිට සරු ඕනෑම කෙනකුට ආසනයක් මිලදී වෙන් කර ගනිමින් අභ්‍යවකාශයට ගොස් මිනිත්තු කීපයක් ශුන්‍ය ගුරුත්වයේ පාවෙමින්, පහළින් ඇති පෘථිවිය ඇති තරම් නරඹා ආපසු ඒමට පළමුවෙන්ම අවස්ථාව උදා කළේ බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති රිචඩ් බ්‍රැන්සන් සහ ඔහුගේ 'වර්ජින් ගැලෙක්ටික්' සමාගමය. ඒ, පසුගිය ජූලි 12 වැනිදාය. ඉන්පසු ජූලි 20 වැනිදා ඇමෙරිකන් බිලියනපතියකු වන ජෙෆ් බෙසෝස් සහ ඔහුගේ 'බ්ලූ ඔරිජින්' සමාගම අභ්‍යවකාශ සංචාර ආරම්භ කළේය.

අභ්‍යවකාශයට යෑම යනු, පෘථිවි වායුගෝලයේ ඉහළටම ගොස් 'කාමන් සීමාව' පසු කිරීමය. මෙම සීමාව ඇත්තේ කි.මී. 100 ක් ඉහළිනි. පෘථිවි වායුගෝලයේ අද්දර එසේත් නැතිනම්, අභ්‍යවකාශය හමුවන සීමාව ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන්නේ මෙම සීමාවය. 'වර්ජින් ගැලෙක්ටික්' සමාගම සහ 'බ්ලූ ඔරිජින්' සමාගම අභ්‍යවකාශ සංචාර ආරම්භ කළේ සංචාරකයන්, මිනිත්තු කීපයකට මෙම 'කාමන් සීමාව' තෙක් රැගෙන යෑම පමණි. දින දෙකක කෙටි පුහුණුවකින් පසු ඕනෑම කෙනකුට මෙම සංචාර සඳහා එක් විය හැකිය‍ෙ

ඇමෙරිකන් බිලියනපති ඉයොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගම ද ඊයේ (15) අභ්‍යවකාශ සංචාර ආරම්භ කළේය. එය අභ්‍යවකාශ ගමන් බිමන් සම්බන්ධයෙන් සුවිශේෂී සංධිස්ථානයක් විය. ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන්නේ ද මෙම ස්පේස් එක්ස් සමාගමය. 'ස්පේස් එක්ස්' සමාගම, නාසා ගගනගාමීන් උඩු ගුවනට ගෙන යෑම සිදු කරන්නේ ඔවුන්ගේ මීටර් 70 ක් උස 'ෆෝල්කන් 9' අධි බලැති රොකට්ටුව සහ එම රොකට්ටුවේ මුදුනට සම්බන්ධ කෙරෙන මීටර් 8 ක් උස සහ මීටර් 4 ක් පළල කුඩා 'ඩ්‍රැගන්' ගගන කැප්සියුලයේ ආධාරයෙනි. ස්පේස් එක්ස් සමාගම අභ්‍යවකාශ සංචාර ආරම්භ කරන්නේ ද මෙම රොකට්ටුව සහ කැප්සියුලය භාවිතයට ගනිමිනි.

'ස්පේස් එක්ස්' අභ්‍යවකාශ සංචාර 'වර්ජින් ගැලෙක්ටික්' සමාගමේ සහ 'බ්ලූ ඔරිජින්' සමාගමේ අභ්‍යවකාශ සංචාරවලට වඩා සම්පූර්ණයෙන් වෙනස්ය. ගගනගාමීන් ලෙස ගමනට එක් වන සංචාරකයන්ට මාස කීපයක පුහුණුවක් ලබා දෙයි. පුහුණුව ලබා දෙන්නේ නාසා ආයතනයයි. 'ස්පේස් එක්ස්' අභ්‍යවකාශ සංචාර සඳහා දින 3 ක් ගතවෙයි. ඒ නිසාම 'ස්පේස් එක්ස්' අභ්‍යවකාශ සංචාර මිලෙන් ද වැඩිය.

ඊයේ (15) ස්පේස් එක්ස් මංගල අභ්‍යවකාශ සංචාරය නම් කෙරුණේ 'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුම යන නමිනි. ගගනගාමී සංචාරකයන් ලෙස මාස කීපයක මනා පුහුණුව ලැබූ ඇමෙරිකන් සිවිල් වැසියෝ සිවුදෙනෙක් 'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුමට එක් වෙති. ඔවුන් රැගත් 'ෆෝල්කන් 9' රොකට්ටුව සහ 'ඩ්‍රැගන්' කැප්සියුලය ගුවන්ගත වූයේ ෆ්ලොරීඩා හි බ්‍රෙවාඩ් ප්‍රාන්තයේ, නාසා ආයතනයට අයත් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නාසා පාලක මැදිරියේ උපදෙස් සහ මෙහෙයවීම් අනුවය. නාසා ආයතනයේ මැදිහත් වීමෙන් සිවිල් වැසියන් කණ්ඩායමක් ගගනගාමීන් ලෙස පුහුණු කර අභ්‍යවකාශයට යැවීම සිදුවන පළමු අවස්ථාව ද මෙය විය.

'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුම සඳහා ලොකු ප්‍රසිද්ධියක් ලැබුණු බැවින් බොහෝ දෙනෙක් රොකට්ටුව ගුවන්ගතවන අයුරු නැරැඹීමට පැමිණ සිටියහ. ඉයොන් මස්ක් ද ඒ අතර සිටියේය. 'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුම සජීවීව පුවත් නාළිකා සහ වෙබ් නාළිකා ඔස්සේ විකාශය කෙරුණි. 'ඩ්‍රැගන්' කැප්සියුලය පෘථිවි කක්ෂයේ ඉහළින් කක්ෂගත වෙයි. කැප්සියුලය පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළටත් වඩා ඉහළට යයි.

ඉයොන් මස්ක් සමඟ සාකච්ඡා කර, ස්පේස් එක්ස් මංගල අභ්‍යවකාශ සංචාරයට තමන් සහභාගී වීමට කැමැති බව පැවැසුවේ 38 හැවිරිදි ජාරෙඩ් අයිසෙක්මන් ය. 'ෂිෆ්ට් 4' නමැති සමාගමේ හිමිකරු වන අයිසෙක්මන් ද බිලියනපතියෙකි. ඔහු සමඟ තවත් තිදෙනෙක් 'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුමට සම්බන්ධ වී සිටිති. මෙහෙයුමේ සියලු බර පැන දරන්නේ අයිසෙක්මන් ය. අයිසෙක්මන් ස්පේස් එක්ස් සමාගමට කොතරම් මුදලක් ලබා දුන්නේදැයි මෙතෙක් අනාවරණය වී නැත.

'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුම අයිසෙක්මන්ගේ සංකල්පයකට අනුව සිදුවන්නකි. එය එක්තරා ආකාරයක පුණ්‍ය කටයුත්තකි. ජාරෙඩ් අයිසෙක්මන් මෙම අභ්‍යවකාශ සංචාරය හරහා ටෙනිසි ජනපදයේ මෙම්පිස් හි ශාන්ත ජූඩ් රෝහල වෙනුවෙන් අරමුදල් රැස් කරයි. ඇමෙරිකාවේ ප්‍රකට ළමා රෝහලක් ලෙස ශාන්ත ජූඩ් රෝහල සැලකෙයි. මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා දෙන්නේ පිළිකා රෝගී දරුවන්ටය. රෝහල වෙනුවෙන් එක් රැස් කිරීමට බලාපොරොත්තු වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 200 කි. එයින් ද මිලියන 100 ක් තමන් ලබා දෙන බව අයිසෙක්මන් පවසා ඇත.

පසුගිය ජනවාරියේ, අයිසෙක්මන් සහ ශාන්ත ජූඩ් රෝහලේ ප්‍රධානීන් අතරේ හමුවක් පැවැත්විණි. එහිදී අයිසෙක්මන් කියා සිටියේ රෝහල නියෝජනය කරමින් අභ්‍යවකාශ සංචාරයට සුදුස්සකු යෝජනා කරන ලෙසය. ජූඩ් රෝහලේ ප්‍රධානීන් ට සුදුසුස්සකු තෝරා ගැනීම අසීරු නොවිණි. සුදුස්සා කවුරුන්දැයි ඔවුන් දැන සිටියේය. ''ස්පේස් එක්ස් පළමු අභ්‍යවකාශ සංචාරයට අප ඔයා නම් කළා. ඔයා කැමැතියි නේද?'' යනුවෙන් 29 හැවිරිදි හෙයිලී ආසනෝව් ට දුරකතන පණිවුඩයක් ලැබුණේ ඉන් අනතුරුවය. හෙයිලී ට එය අදහා ගන්න බැරි දෙයක් විය. එය ඇගේ කුඩා කළ සිහිනයක් සැබෑ වීමකි. මිනිත්තු කීපයකට ඇය ගොළු වූවාය.

අභ්‍යවකාශයට යෑම හෙයිලි ආසනෝව්ගේ කුඩා කළ සිහිනයකි. ඒත් ඒ සිහිනය බොඳ වුණේ ඇය පිළිකා රෝගියකු වූ නිසාය. දණ හිසේ දැඩි වේදනාවක් දැනෙද්දී හෙයිලිගේ වයස අවුරුදු දහයකි. ඒ වනවිට ඇය තායික්වන්ඩෝ වෙනුවෙන් කළු පටියක් හිමි කර ගත්තා පමණි. රිදුම් දෙන්න වූ දණහිස ඉදිමෙන්න පටන් ගත්තේය. තම දියණියගේ දණ හිසේ එක් තැනක ගෙඩියක් ඇති බව හෙයිලිගේ මවට දකින්න ලැබුණි. වෛද්‍ය පරීක්ෂණයෙන් හෙලි වූයේ කුඩා හෙයිලි අස්ථි පිළිකාවක් බවය.

''අම්මා මාව දොස්තර ළඟට අරන් ගිය හැටි මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඇය හිටියේ හොඳටම බයවෙලා. ඇස් තෙත් කරගෙන. ඇය මාව අරන් ගියේ වඩාගෙන. තාත්තත් අපි පස්සෙන් ආවා. දොස්තර මහත්මයා කීවා මට අස්ථි පිළිකාවක්. අම්මා තාත්තා දෙන්නා හඩන්න ගත්තා. මමත් ඇඩුවා. එදා අවුරුදු 10 දී මං හොඳින් දැන සිටියා පිළිනාවක් කියන්නේ මොකක්ද? මගේ යාළුවෝ කීප දෙනෙක් පිළිකාවලින් මියගොස් තිබුණා. මං හිතා ගත්තා මටත් මැරෙන්න වෙනවා. මට මරණ දඩුවම නියම වෙලා.''


ප්‍රතිකාර සඳහා හෙයිලි ඇතුළත් කෙරුණේ ශාන්ත ජූඩි ළමා රෝහලටය. ඇය වසරක් කීමෝ ප්‍රතිකාර ලැබුවාය. ඇගේ හිස කෙස් සම්පූර්ණයෙන්ම ගැලවී යන්න විය. වසරක ප්‍රතිකාරවලින් පසු ඇගේ දණ හිසේ පිළිකා ගෙඩිය සැත්කමකින් ඉවත් කෙරුණි. ඒ දණහිසේ අස්ථි කොටස ද සමඟය. ඇයට කෘත්‍රිම ටයිටේනියම් අස්ථියක් බද්ධ කෙරුණි.

''රෝහලේ සිටි කාලය මගේ ජීවිතය වෙනස් කළා. මට අරමුණක් ලැබුණා. අද මම කවුරුදැයි තීරණය වූයේ එදා. රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු හැමෝම මට මගේ පවුලේ අය වුණා. කවදා හරි දවසක මමත් ශාන්ත ජූඩ් රෝහලේ ම රැකියාව කරන්න මම සිතා ගත්තා.'' අද ඇය, ශාන්ත ජූඩ් රෝහලේ වෛද්‍ය සහායිකාවක ලෙස කටයුතු කරන්නීය. ඇය සම්බන්ධ වී සිටින්නේ ලියුකේමියා සහ ලිම්පෝමා පිළිකා රෝගී පොඩිත්තන් ප්‍රතිකාර ගන්නා වාට්ටුවේය. ඇය ඇගේ වාට්ටුවේ පොඩිත්තන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් ලබා දෙයි. ඒ ඔවුන් මුහුණ දෙන අත්දැකීම්වලට ඇය කුඩා කළ මුහුණ දුන් බැවිනි. ඇය 'ස්පේස් එක්ස්' මංගල අභ්‍යවාශ ගමනට එක් වන්නේ ද එම පොඩිත්තන්ට ලොකු බලාපරොත්තුවක් දෙමිනි. ජීවිතයට අරමුණක් දෙමිනි. මේ සියල්ල හෙයිලි පැවැසුවේ අභ්‍යවකාශ ගමනට පෙර රූපවාහිනී සම්මුඛ සාකච්ඡා කීපයකට සම්බන්ධ වෙමිනි.

හෙයිලී ආසනෝව්, 'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුමට එක් වී සිටින්නේ, කණ්ඩායමේ වෛද්‍ය නිලධාරිනිය ලෙසය. ඊට අමතරව සිරුරේ කෘත්‍රිම කොටසක් බද්ධ කළ අභ්‍යවකාශයට යන පළමු පුද්ගලයා වන්නේ ද ඇයයි. ''නාසා ආයතනයේ නීතිරිති අනුව මං වගේ කෙනකුට වෘත්තීය මට්ටමේ ගගනගාමියකු වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒත් අභ්‍යවකාශ ගමන් බිමන් පෞද්ගලීකරණයට ලක් වෙද්දී,  ස්පේස් එක්ස් හරහා මට ඒ අවස්ථාව උදා වුණා. දැන් ඕනෑම කෙනකුට සල්ලි තිබෙනවා නම් අභ්‍යවකාශයට යන්න එන්න පුළුවන්' යැයි හෙයිලි පවසා තිබේ. හෙයිලී, 'නෙට්ෆ්ලික්ස්' සමාගම සමඟ සම්බන්ධ වී ඇගේ අත්දැක්ම් සියල්ල රූගත කෙරේ. ඒවා ඇසුරින් වාර්තාමය වැඩසටහන් මාලාවක් නිර්මාණය වනු ඇති අතර ඉදිරියේ දී අපට එය නැරඹීමට හැකි වේවි.

'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුමට සම්බන්ධ සෙසු අභ්‍යවකාශ සංචාරකයන් දෙදෙනා තෝරා ගැනීම සිදුවූයේ ද ශාන්ත ජූඩ් රෝහල හරහා සමාජ මාධ්‍ය ජාල සමඟ සම්බන්ධ වෙමිනි කුසපත් ඇදීමේ ක්‍රමයකටය. ගමනට එක් වුණු එක් අයකු වන්නේ භූගෝල විද්‍යාඥයකු මෙන්ම අධ්‍යාපනඥයකු ද වන 51 හැවිරිදි සියැන් ප්‍රොක්ටර්ය. කළු ජාතික කාන්තාවක වන මැය පෘථිවි කක්ෂයට ගිය සිවුවැනි කළු ජාතික කාන්තාවය‍. අනෙක් තැනැත්තා 42 හැවිරිදි ක්‍රිස් සෙම්බ්‍රොකී ය. මොහු ලොකීඩ් මාර්ටින් ගුවන් යානා නිෂ්පාදන සමාගමේ සේවකයෙකි. මොහු කලක් ඇලබාමා 'ස්පේස් කැම්ප්' අධ්‍යාපන කඳවුරේ උපදේශකයකු ලෙස කටයුතු කර ඇත. ශාන්ත ජූඩ් රෝහලේ සිදු කළ කුසපත් ඇදීමෙන් ගගන සංචාරය සඳහා ස්පේස් එක්ස් කැප්සියුලයේ අසුනක් දිනා ගැනීමට සමත් වූයේ ක්‍රිස් සෙම්බ්‍රොකීගේ මිතුරෙකි. කෙසේ නමුත් එම මිතුරා ගමනට අදිමදි කළ බැවින්, ඔහු එම අවස්ථාව ක්‍රිස් ට ලබා දුන්නේය.

වෘත්තීය මට්ටමේ ගගනගාමියකු වීමට නාසා ආයතනයේ වසර ගණනක පුහුණුවීම් අවශ්‍ය වෙයි. ඒත්, මාස කීයක කෙටි පුහුණුවකින් අනතුරුව, ගගනගාමීන් බවට පත් වී, පෘථිවි කක්ෂයට ගිය මෙම සිවුදෙනාගේ 'සවාරිය' 19 වැනිදා අවසන් වෙයි. 'ඩ්‍රැගන්' කැප්සියුල ද අද යළි පෘථිවිය වෙත පැමිණීමට නියමිතය. එය පැරෂූට් ආධාරයෙන් ෆ්ලොරීඩාවට ඔබ්බෙන් සාගරයට පතිත කෙරේ. ඇමෙරිකන් නාවික හමුදාව සංචාරකයන් සිවුදෙනා පැමිණෙන තුරු බලා සිටිනු ඇත.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS