චීනයෙන් හමුවුණු මකර මිනිසා



ඒ 1933 වසරයි. උතුරුදිග චීනයේ, හෙයිලොංග්ජියැං පළාත ද ජපන් හමුදාව විසින් යටත් කරගෙන තිබුණි. හෙයිලොංග්ජියැං පළාතේ අගනුවර 'හර්බිං' ය. 'ෂොංග්ෂුවා' ගංගාව ගලා බසින්නේ 'හර්බිං' නගරය අසලිනි. ජපන් හමුදාවට මෙම ගංගාව තරණය කිරීමට පාලමක් ඉදි කිරීමට අවශ්‍ය විය. පාලම ඉදිකිරීමට යොදා ගැණුනේ හෙයිලොංග්ජියැං පළාතේ ගැමියන් සහ යුද සිරකරුවන්ය. පාලමේ ඉදිකිරීම් සඳහා කැණීම් කරද්දී, චීන ගැමියන්ට අමුතු විදියේ හිස් කබලක් හමුවිය.

පොසිලකරණයට ලක්වුණු එම හිස්කබල හොඳින් සුරැකිව තිබුණි. බැලූ බැල්මට එය මිනිස් හිස් කබලකට සමාන වුවත්, එය එසේ නොවන බව ගැමියන්ට අවබෝධ විය. ජපන් සොල්දාදුවන් එය දුටුවොත්, ඔවුන් එය අත්පත් කර ගනීවි යැයි බියෙන්, රෙදි කඩක හොඳින් ඔතන ලද හිස් කබල අත්හැර දැමූ ළිඳක පතුලේ සඟවන ලදී. හිස් කබලේ රහස දැන සිටියේ එය ළිං පතුලේ සැඟවූ ගැමියා පමණි. ඔහු එම රහස ඔහුගේ පුතාටත්, මුණුපුරාටත් පවසා තිබුණි. 2018 වසරේ, අත්හැර දැමූ එම ළිඳ පිහිටි ස්ථානය ගොස් පස් යට සඟවා තිබූ හිස් කබල සොයා ගැනීම ඒ අනුව සිදුවිය. අවසානයේ හිස් කබල, හෙබෙයි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජී කියැංගේ අතට පත් විය.

අවුරුදු 1,40,000 ක් පැරැණි, ඉතාමත් හොඳින් සුරැකී ආරක්ෂා වූ හිස් කබලේ කොටස් වසර තුනක් තිස්සේ විවිධාකාරයේ පරීක්ෂණවලට යොදා ගැනීම සිදුවිය. එයින් තහවුරු වූයේ හිස් කබල අයත් මානවයා නව මානව විශේෂයකට අයත් බවය. හිස් කබල පිරිමි මානවයකුගේය. අවුරුදු 50 ක් පමණ වයසය. වයස නිර්ණය කෙරුණේ හිස් කබල වර්ධනය වී ඇති ආකාරය අනුවය. මෙම නව මානවයාගේ මොළය, 'හෝමෝ සේපියන්' හෙවත් නූතන මානවයාගේ මෙන් විශාලය. ඇස් පුළුල්ය. ගැඹුරින් පිහිටා තිබෙන්න ඇත. මුහුණ පළල් වුවත්, කපෝලාස්ති (කම්මුලේ අස්ථි) පැතලිය. ඒ අනුව, මානව පවුලේ සෙසු මානවයන්ට වඩා මෙම මානවයා වඩාත් සමීප නූතන මානවයාට යැයි තහවුරු විය. සරලව කීවොත් මේ නව මානවයා අප මනුෂ්‍යයන්ගේ සමීපතම මුතුන්මිත්තෙකි.

හිස් කබල කොටස්වල සුලමුල සෙවීමට සම්බන්ධ වූ පර්යේෂණ කණ්ඩායම, චීනයෙන් හමුවුණු සෙසු මානව විශේෂ සම්බන්ධයෙන් සොයාගත් පොසිල සාක්ෂි සමඟ ද මෙම නව මානවයාගේ හිස් කබල සන්සන්දනය කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ. නව මානව විශේෂයක් බව තහවුරු වෙද්දී, මෙම මානවයා 'හෝමෝ ලෙංගි' ලෙස නම් කෙරුණි. ඒ, මානවයාගේ අස්ථි කොටස් සොයා ගත් පළාත අනුවය. 'හෝමෝ ලෙංගි' යන්නෙහි තේරුම 'මකර මිනිසා' යන්නය. මෙම නව සොයා ගැනීමත් සමඟ මානව පරිණාමයේ නව පිටුවක් පෙරැළෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

'අල් ජසීරා' ඇසුරිනි


RECOMMEND POSTS