සිතුවමකින් මතුවුණු ලොවෙන් සමුගත් පාත්තයා



සදහටම ලොවට අහිමිවුණු පාත්තයකු ගැන හෝඩාවුවක් අනාවරණය කර ගැනීමට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙක් සමන්විය. එය සැබැවින්ම අපූරු සොයා ගැනීමකි. මෙම පාත්ත විශේෂය ගැන කරුණු අනාවරණය වූයේ ඉපැරණි සිතුවම් පෙළකිනි. මෙම සිතුවම් හමුවී ඇත්තේ ඊජිප්තු සොහොන් ගැබකින් වන අතර, මිල කළ නොහැකි එම පුරාණ සිතුවම් හැඳින්වෙන්නේ 'ඊජිප්තුයේ මොනාලීසා' යන නාමයෙනි.

පුරාණ ඊජිප්තුව හැඳින්වෙන්නේ මිසරය යන නමිනි. මිසර රජවරුන් හැඳින්වෙන්නේ පාරාවන් ලෙසය. නැගෙනහිර දෙසින් අප්‍රිකන් කඳුකරයෙක් ඇරැඹෙන නයිල් නදිය, උතුරු දෙසින් මධ්‍යධරණී මුහුදට වැටෙයි. නයිල් නදිය ආශ්‍රිතව පාරාවන්ගේ රාජධානි බිහිවූ ආකාරය අනුව, ඊජිප්තුව කොටස් දෙකකි. ඒ, ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව ආදී වශයෙනි.

1871 වසරේ දී පහළ ඊජිප්තුවේ, මෙයිඩම් නමින් නම් කළ පළාතේ කැණීම් අතරතුරේ පුරා විද්‍යාඥයන්ට වැළලී ගිය සොහොන් ගැබක් මතු කර ගැනීමට හැකිවිය. මේ සොහොන් ගැබේ තැම්පත් කර තිබෙන්නේ පළමුවැනි නෙෆර්මාත් කුමරු සහ ඔහුගේ බිරිඳ අයිටෙට් ය. වටිනා කියන දේවල්වලට අමතරව සොහොන් ගැබේ බිත්තියේ ඇදි සිතුවම් ද විය.

එදවස මිසරයේ දකින්න ලැබුණු කුරුල්ලන් සහ ක්ෂීරපායී සතුන් උන්ගේ සැබෑ ස්වරූපයෙන් ම සිතුවම් කර තිබුණි. ඒ, පුරාණ මිසර සිත්තරුන්ගේ දස්කම් පිළිබිඹු කරමිණි. බල්ලන්, ගවයන්, දිවියන් සහ ධවල ඇන්ටිලොප් ගෝනුන් ද කැළෑ පාත්තයන් ද එම සිතුවම් අතර දකින්න ලැබේ. මෙම සිතුවම්වල වටිනාකම වචනයෙන් විස්තර කළ නොහැක. මෙම සිතුවම් වසර 4,600 ක් පැරැණිය.

වර්ග කීපයක කැළෑ පාත්තයන් ඇති සිතුවම අද ප්‍රදර්ශනයට තබා ඇත්තේ, කයිරෝ කෞතුකාගාරයේ වීදුරුවලින් නිර්මාණය කළ විශේෂ ආරක්ෂිත කුටියක් තුළය. සිතුවමේ සිටින පාත්තයන්, මෙයිඩම් පාත්තයන් ලෙස නම් කෙරුණු අතර, උන් එකිනෙකා හඳුනා ගැනීම සිදුවිය. සිතුවම් අතර රතු පපුවක් සහිත පාත්තයන් ජෝඩුවක් ද වෙයි. මෙම පාත්තයන් හරිහැටි හඳුනා ගැනීම ගැටළුවක් වූ නමුත් උන් බටහිර යුරෝපයේ 'රතු ළැම ඇති පාත්තයන්' ලෙස එවකට සත්ව විද්‍යාඥයෝ අනුමාන කළහ. ඒ සැකයක් ද ඉතිරි කරමිණි.

කෙසේ නමුත් ඒ සැකය නිරවුල් කර ගැනීමට දැන් හැකි වී තිබේ. ඒ, ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය ඇන්තොනි රොමීලෝ ට එම සිතුවම දකින්න ලැබීමෙනි. ආචාර්ය ඇන්තොනි රොමීලෝ, ජීවීන්ගේ පරිණාමය සම්බන්ධ විශේෂඥයෙකි. ජීව විද්‍යාඥයෙකි. මෙහු සැකයට ලක්වී තිබුණු මෙම මෙයිඩම් පාත්තයන්ගේ සිතුවම බොහොම උනන්දුවෙන් නිරීක්ෂණය කරන්න විය. යුරෝපයේ සිට ඊජිප්තුව බලා පැමිණෙන පාත්ත විශේෂ ගැනත්, ඊජිප්තුවේ පමණක් දකින්න ලැබෙන පාත්ත විශේෂ ගැනත්  රොමීලෝ ට ඇත්තේ හසල දැනුමකි.

සිතුවමේ දකින්න ලැබෙන සෙසු පාත්තයන් වර්තමානයේ පවා දකින්න ලැබෙන බවත්, බටහිර යුරෝපයේ 'රතු ළැම ඇති පාත්තයන්' ලෙස කළ පාත්තයන් සැබැවින්ම බටහිර යුරෝපයේ 'රතු ළැම ඇති පාත්තයන්' නොවන බවත් රොමීලෝ පැහැදිලි කර තිබේ. උන් අද ලොවෙන් සඳහටම සමුගත් පාත්ත විශේෂයක් බව ඔහු පෙන්වා දෙයි.

'ඒක ඇත්තටම හරිම පුදුමයි. අවුරුදු 4,600 ක් පරණ සිතුවමක ඉන්නවා පාත්තයෙක්. වර්තමාන ලෝකයේ දකින්න නොලැබෙන. ඒ පාත්තයා අද දකින්න නොලැබෙන්නේ උන් සදහටම ලොවෙන් සමුගත් නිසයි. පුරාණ සිත්තරුන් ඒ පාත්තයන් සිතියම් නොකළා නම්, උන් සිටියා ද නැද්ද කියා හෝ අපට දැනගන්න ලැබෙන්නේ නැහැ.' යැයි ආචාර්ය ඇන්තොනි රොමීලෝ වැඩි දුරටත් පහදා දෙයි.

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS