හක්කේ හැංගිමුත්තං කළ පේෂියක්



මිනිස් සිරුර තරම් විශ්මිත දෙයක් තවත් නැත. මිනිස් සිරුරේ සැඟවුණු රහස් රැසකි. මේ සටහන වෙන් වන්නේ එවැනි සැඟවුණු රහසක් පිළිබඳවය.

ලොව පුරා විද්‍යාඥයෝ අප මෙ‍ෙතක් නුදුටු තැන් සොයමින් සිටිති. මේ සටහන ලියන මොහොතේ දී පවා අභ්‍යවකාශයේ රැඳවූ යෝධ දුරේක්ෂයක් සක්වළ රහස් සෙවීම ආරම්භ කර තිබේ. තවමත් අපට නොපෙනුනු දෑ කොතෙකුත් වෙත් ද?

කන්නාඩියෙන් හැමදාම මුහුණු බලන අප මෙතෙක් නුදුටු දෙයක් කම්මුල අසලින් සොයා ගැනීමට ස්විට්සර්ලන්ත බැසල් (Basel) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත් වී සිටිති. මේ, හක්කේ හැංගි මුත්තං කළ නව පේෂියක් ගැන කතාවකි.

මේ නව සොයා ගැනීම දුර්ලභ ගණයේ මැණිකක් සොයා ගැනීම බඳු අසිරිමත් දෙයකි. 'සිරුරේ සිතියමේ' ඇතුළත් නොවුණු මෙම නව පේෂිය පිළිබඳ මෙතෙක් විද්‍යාඥයන් දැන නොසිටියේ කොහොමද? මෙම පේෂිය ඇත්තේ හනුව ආශ්‍රිත කොටසෙහි පේශීන් දෙකක් අතර සැඟවිලාය. එසේත් නැතිනම් හැංගිමුත්තං කරමිනි. විද්‍යාඥයන්ට පේෂිය හමු නොවුණේ එබැවිනි.

මුහුණෙහි හකුපාඩාවට බද්ධව, හැපීම සඳහා යටි හනුව මෙහෙවන චර්වණියට අයත් සුවිශේෂ පේශියකි. (ඉංග්‍රීසියෙන් චර්වණිය හැඳින්වෙන්නේ masseter යනුවෙනි. ඊට අමතරව සිංහලෙන් මෙය පේෂකය යනුවෙන් ද හැඳින්වෙයි.)

නවීන ව්‍යවචේඡේද විද්‍යා පෙළ පොත්වල, චර්වණියට අයත් පේශී ස්තර දෙකක් ගැන සඳහන් වෙයි. ඒ ගැඹුරු (D = deep layer) හා සලස්ථ හෙවත් පෘෂ්ඨීය (S = superficial layer) ස්තර ආදී වශයෙනි.

කෙසේ වෙතත් ඇතැම් පැරණි ‌පොතක මෙහි තුන්වන ස්තරයක් තිබිය හැකි බව සඳහන්ව තිබුණත් එහි පිහිටීම ස්ථිරව තහවුරු කර තිබුණේ නැතැයි මෙම නව සිරුරු කොටස සොයා ගැනීමට මුල් වූ ස්විට්සර්ලන්ත බැසල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පැහැදිලි කරති.
මෙම නව සොයා ගැනීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක්, 'Annals of Anatomy' විද්‍යා ජර්නලයේ සඳහන් වෙයි.

සිරුර පිළිබඳ පැරණි ඓතිහාසික ලේඛනවල අනුමාන කර තිබූ නිසා, ප්‍රායෝගිකව ඒ ගැන සොයන්නට බැසල් විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය සිල්වියා මෙසෙයි තීරණය කළ අතර, ඇය සිය පර්යේෂණය ආරම්භ කළේ එහි රසායනාගරයට පරිත්‍යාග කළ මළසිරුරුවල හිස් 12 කිනි.

එම හිස් පරීක්ෂා කරද්දී, ඒවායේ චර්වණියෙහි ඇති සලස්ථ පේශී ස්තරය ඉවත් කළ පසු, චර්වණියෙහි ගැඹුරු පේශී ස්තරය දැක ගැනීමට හැකිවිය. මේ පේශිය ඇයට හමු වී ඇත්තේ චර්වණියෙහි යටම ස්තරයෙනි.

නව පේශිය විද්‍යාඥයන් විසින් නම් කර ඇත්තේ චර්වණියෙහි වායසාභ කොටස (coronoid part of the masseter) කියාය. කෑම විකන අවස්ථාවේ දී හනුව පසුපසට අත තබා තද කිරීමෙන් ඒ පේශිය ඔබේ ඇඟිලිවලට දැනෙයි.

මේ පේශියෙහි පිහිටීම හා හනුව ක්‍රියා කිරීමට උපකාර වීම, පැහැදිලිවම චර්වණියෙහි අනිත් පේශී ස්තර දෙකට ම වඩා වෙනස් යැයි මෙසෙයි පැහැදිලි කර තිබේ.

'මෙහි පේශී තන්තූන් පිහිටා ඇති ආකාරය අනුව චර්වණියෙහි ඇති පේශී ස්තර අතරින් හනුව පසුපසට - කන දෙසට අදින්නට උදවු කරන්නේ මේ සුවිශේෂී පේශී ස්තරය බව පැහැදිලි වුණා.' මෙසෙයි වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ ගැන සඳහන් කරන එම විශ්ව විද්‍යාලයෙහි දන්ත වෛද්‍ය අංශයෙහි මහාචාර්ය ජෙනස් ක්‍රිස්ටෝප් ටර්ප් පවසන්නේ මෙවන් අදහසකි.

'මේ පැහැදිලි කිරීම් අනුව අපට චර්වණියෙහි ව්‍යුහය ගැන යළිත් වරක් සම්පූර්ණයෙන් ම විමසා බැලීමක් කළයුතු වෙනවා. වසර 100ක් තිස්සේ ම ලෝකයේ ව්‍යවචේඡේද පර්යේෂකයන් මෙය හෙළිදරවු නොකිරීම පුදුමයට කරුණක්. අපේ මේ සොයා ගැනීම සත්ත්ව විද්‍යාඥයන් විසින් නව පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂයක් සොයා ගත්තා හා සමානයි.'

'ලයිව් සයන්ස් ඇසුරිනි


RECOMMEND POSTS