විස්මිත හෙඩ්‌ෆෝනයක්



ඔබේ නහය හා කට ඉදිරියේ ඇති වාතය පිරිසිදු කළ හැකි විස්මිත හෙඩ්‌ෆෝනයක් නිපදවා තිබේ. ඩයිසන් සෝන් (Dyson Zone) යනුවෙන් නම් කර ඇති මෙම අරුම පුදුම හෙඩ්ෆෝනය ඔබ අවට ඇති වායු දූෂණය විතරක් නොවෙයි; ශබ්ද දුෂණයෙනුත් ඔබ ආරක්ෂා කරයි. අපූරුයි නේද? මේ අමුතු හෙඩ්ෆෝනය ඔබේ කනට අහිතකර මට්ටමට නිකුත් කෙරෙන ශබ්ද සියල්ල කපා හරින අතරතුරේ නහය සහ කට ඉදිරියේ ඇති වාතය පිරිසිදු කර ඔබට හුස්ම ගැනීමට පිරිසිදු වාතය සපයා දෙයි.

ඩයිසන් සෝන් මගින් වාතයේ ඇති වයිරස වර්ග දෙකක් ඉතා සාර්ථකව විනාශ කරන බව පර්යේෂණවලින් තහවුරු වී අවසන්. කෙසේ නමුත්, තවමත් මෙය 'කොවිඩ් 19' වයිරසය සම්බන්ධයෙන් නම් අත්හදා බැලීම් කර නැති බව ද පැවැසෙයි. මෙම අපූරු විස්මිත හෙඩ්ෆෝන් උපකරණය තැනූ බ්‍රිතාන්‍ය සමාගම පෙන්වා දෙන්නේ, ඔවුන් වැඩි අවධානයක් යොමු කළේ පරිසරයේ ඇති අප ද්‍රව්‍ය ඉවත් කිරීමට බවය. "පරිසර දූෂණය ලොව පුරා කොහේ ගියත් අප හැමදෙනාටම මුහුණ දීමට ඇති ගැටලුවක්." යැයි හෙඩ්ෆෝනය නිපද වූ ජේක් ඩයිසන් කියයි. ජේක් ඩයිසන් යනු එම බ්‍රිතාන්‍ය සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයා. ඔහු මේ සමාගමේ නිර්මාතෘ බ්‍රිතාන්‍යයේ කෝටිපති ව්‍යවසායකයකු වූ සර් ජේමස් ඩයිසන්ගේ පුත්‍රයාය.

"ගෙදරදී, පාසලේදී, වැඩපළේ දී, අප යන හැම තැනකදීම, පයින් ගියත්, පොදු වාහනයක ගියත්, සයිකලයක් පදවා ගෙන ගියත් අපට අපිරිසිදු වාතයට මුහුණ දීමට සිදුවෙනවා. මේ ඩයිසන් සෝන් උපකරණය, මුව ආවරණ වුවත් එය ඇත්තටම මුව ආවරණයක් නොවෙයි; එය ඔබ ගමන් කරන අතරතුර දී, ඔබේ මුවේ නොගෑවී, ඉතා කාර්යක්ෂම පෙරහන් දෙකක් යොදා ගෙන, ඔබේ මුහුණ අවට ශ්වසනය කරන හරියේ ඇති වාතය පිරිසිදු කොට ඔබට එසැණ ලබා දෙනවා. ඒ සඳහා ඉතා කුඩා මෝටර් දෙකක් යොදා ගෙන තියෙනවා." ජේක් ඩයිසන් වැඩි දුරටත් පැහැදිලි කරයි.

ජේක් ඩයිසන්ට මේ උපකරණය තනන්නට ආභාසය ලැබුණේ අශ්ව සැදෑලයෙන් යයි කීවොත් ඔබ පුදුම වෙනවා නිසැකය. ඒත් ඒක ඇත්ත. අශ්ව සැදෑලය තනා තියෙන්නේ ඒ මත පැටවෙන බර, අශ්වයාගේ කොන්ද මුදුනට නොව, හිස දෙපැත්තට බෙදී යන විදියටය. මේ තාක්ෂණය අලුත් එකක් නොවෙයි. අපේ පැරැන්නන් තවලම් සඳහා යොදා ගත්ත එකකි. මේ උපකරණයෙත් බර හිස දෙපැත්තට විසිර යයි. හිසට බරක් දැනෙන්නේ නැත. කන දෙපැත්තේ ඇති කුඩා සම්පීඩක (Compressors) මගින් එහි ඇති විශේෂ පෙරණ යොදා ගෙන වාතයේ ඇති අසාත්මකාරක ද්‍රව්‍ය වන අති සියුම් අංශු කැබලි හා දූවිලි කොටස් ඉවත් කර ලබා ගන්නා පිරිසිදු වාතය ඔබේ නැහැය හා මුව අසලට ලබා දෙයි.

මේ පෙරණවලට වාතයේ ඇති අපවිත්‍ර දෑවලින් සියයට 99ක් පෙරා ඉවත් කළ හැකිය. ඒවාට මයික්‍රෝන 0.1ක් තරම් කුඩා ඒවා පෙරන්න පුළුවනි. 'කොවිඩ් 19' කෙසේ වුවත්, දැනට වයිරස වර්ග දෙකක් වූ MS2 bacteriophage හා H1N1 influenza යන වයිරස දෙක යොදා ගෙන පරීක්ෂණයට ලක් කර තිබේ. ඒවා සාර්ථකව ඉවත් කළ හැකි බව තහවුරු වි අවසන්ය.
 
වාතයේ ඇති නයිට්‍රජන් ඩයොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායු අංශු පෙරා ගත හැකි පොටෑසියම් මිශ්‍ර කාබන් ස්තරයක් පෙරණවලට යොදා ඇති අතර, ඩයිසන් සෝන් උපකරණයට වයිසරයක් (Visor) සවි කර තිබේ. එයින් ද නහයත් අතරට පිරිසිදු කළ වාතය පොම්ප කරයි. පෙරා ගන්නා පිරිසිදු වාතය ඔබේ නාසය හා මුඛය ඉදිරියේ ඇති වයිසරය තියෙන කොටසට මෙහි අති සියුම් මෝටර මගින් තල්ලු කෙරේ. සාම්ප්‍රදායික මුහුණු ආවරණ වගේ මේ උපකරණය ඔබේ මුහුණේ ගැවෙන්නෙවත් නැත.

පරිසර විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට මිනිසාට හානිකර ප්‍රධාන දූෂණකාරක ද්‍රව්‍ය හයකි. ඒවා අතරට විෂකාරක ඝන හා දියර කොටස් (අංශු), කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, බිම් මට්ටමේ ඇති ඔ්සෝන් වායු අංශු, ඊයම් ආදිය අයත් වෙයි.

ඩේලිමේල්


RECOMMEND POSTS