මහා පාදයාගේ අබිරහස හෙළිවෙයි



මහා පාදයා හෙවත් බිග්ෆුට් මිනිසා පිළිබඳ ලොව පුරාම පවතින විස්මිත පුවත් මැවූ චරිතය ඉතා දුරාතීතයට දිව යන්නක්. මානව වර්ගයාගේ ඉතිහාසයේ සෑම තැනකම වර්තමාන සාමාන්‍ය මිනිසාට වඩා විශාල මිනිසුන් සිටි බවට කතාන්තර පළ වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ රියන් ගණන් උස බුදුවරයන් සිටි බව සඳහන් වෙයි. ඉංග්‍රීසි සාහිත්‍යයේ ද යෝධයන් ගැන කතාන්තර ඇත. දුටුගැමුණු රජතුමාත් දස මහා යෝධයන් සමඟ යුද වැදුණු හැටි මහාවංශයෙන් කියවන්න පුළුවනි.

අසාමාන්‍ය විශාලත්වයෙත් මිනිසුන් ගැන කතා ලොව පුරා ජනතා ආකර්ෂණය දිනා ගෙන ඇති බව ගැන විවාදයක් නැහැ. ඒ නිසා හිමාලයේ යෙටී හෙවත් යෝධ හිම මිනිසා, ඇමරිකාවේ බිග්ෆුට්, කැනඩාවේ සැස්කොච් වැනි අද්භූත සත්වයන් දුටු බවට පසුගිය කාලයේ පළ පුවත් නිසාත් ඇතැම් විට ඒවා සමඟ පළ වූ අපැහැදිලි රූපත් නිසා මේ වන තෙක් එය මිනිසා තුළ කුතුහලය අවුස්සන දෙයක් වී අවසන්. ඒත්, පසුගිය දා පළ කළ වි‍ශේෂ වාර්තා දෙකක් නිසා මේ අද්භූත මහා පාදයා ගැන අබිරහස හෙළිදරවු වී තිබේ.

1958 දී ඇමරිකාවේ පුවත්පතක කොටු කළ විශේෂ පුවතක් පළ විය. එහි අන්තර්ගත වූයේ අබිරහස් පා සලකුණු වගයක් හා කැලේ මැදින් ගස් අතරින් දිව ගිය විශාල ගෝරිල්ලකු වැනි සතෙක් දුටු අයකු කළ දුටු විස්තරයකි. මේ විස්තරය කළ තැනැත්තා හිමාල වනයේ සැරිසරණ යෙටී හෙවත් යෝධ හිම මිනිසා ගැන සඳහන් කොට තිබීම නිසා බොහෝ දෙනා සිතන්න වුයේ ඔහු මේ විස්තර කරන්නේ එ් හා සමාන මිනිසකු කියාය. මෙවැන්නක් ඇමරිකාවේ පුවත්පත් මීට පෙර කිසිවක එවැනි පුවතක් පළ වී තිබුණේ නැත.

ඇමරිකන් පුවත්පත් කලාවේදියකු වූ ඇන්ඩෲ ගෙන්සෝලි කැලිෆෝනියාවේ හම්බෝල්ට් ටයිම්ස් (Humboldt Times) පුවත්පතේ වාර්තාවක් පළ කළා, උතුරු කැලිෆෝනියාවේ ගස් කපන්නන් පිරිසකට හමු වූ අද්භූත යෝධ පා සලකුණු වගයක් ගැන. ඒ පිළිබඳව නොසිතූ විරූ අන්දමට පාඨකයන් උනන්දුවක් ලැබුණි. ඒ විශේෂ උනන්දුව නිසා ඔහු තවත් පුවත් කීපයක්ම පළ කළේය. ඒ දර කපන්නන් ඒ අඩි සලකුණුවල විශාලත්වය නිසා ඌ ‘බිග්ෆුට්’ යනුවෙන් හැඳින්වූ බවත් කියමිනි. ඒ බිග්ෆුට් කතාව පටන් ගත්තේ ඒ අයුරිනි.

එයින් පසු වරින් වර බිග්ෆුට් දුටු බවට වාර්තා පළ විය. එදා 1958 දී දුටු පා සලකුණු ඇත්තෙන් ම මිනිසකු විහිළුවකට සැකැසූ ඒවාය. ඒ මහා ප්‍රෝඩාව කළේ රේ වොලස් ය. ඒත් ඔහුගේ මේ ප්‍රෝඩාව බොහෝ කල් රහසක් ලෙස රැක ගනු ලැබ තිබුණි. ඒ රහස එළිදරවු වූයේ 2002 සිදු වූ ඔහුගේ මරණයෙන් පසුවය. හෙළිදරවු කළේ ඔහුගේ දරුවන්ය. ඒ, පියා සරදමක් ලෙස ඒ පාද සටහන් හා එහි හිමිකරු පිළිබඳ කතාව ගොතා පුවත්පතට දුන් බව පැහැදිලි කරමිනි.

ඒත් මේ කතාව හෙළිදරවු කරන්න ප්‍රමාද වුණා වැඩිය. මිනිසුන්ගේ සිතුවිලි ඊට වඩා වේගයෙන් ඉදිරියට ගොස් තිබුණි. ඔවුන් ඒ කතාව විශ්වාස කරන්න පටන් ගත්තා. වනරොදවල, රූස්ස ගස් ඇති වනාන්තරවලට යන අය බිග්ෆුට් ගැන විපරම් කරන්න පටන් ගත්තේය. ඇඟ පුරා ලොම් ඉහිරුණු ඒ අත්භූත සත්වයාගේ අහඹු දර්ශනය වීම් වාර්තා විය. ඒ දර්ශනවල උන් සත්වයන් එක්වරම පෙනී නොපෙනී යාමත්, ගස් අතරින් වේගයෙන් දිවයාමත් නිසා ඒ ඇසින් දුටු කිසිවකුට මුහුණට මුහුණ හමුවූ බවක් කියැවුණේ නැහැ.

ඒ අතර එවැනි අද්භුත මානවයකු ඇතැයි යන්න බොහෝ දෙනා විශ්වාස කරන්න පටන් ගැණුනි. කතාන්දරත් මේ සත්වයා ඇතුළත් කර නිර්මාණය කරනු ලැබුවා. ලෝක ප්‍රකට ටින් ටින් චිත්‍රකතා මාලාවේ ‘ටින් ටින් ඉන් ටිබෙට්’ යන කෘතියෙහි ටින් ටින්, හිමාල අඩවියේ ගුවන් අනතුරකින් අතරමං වී යෙටී කෙනකුගේ ආරක්ෂාව මැද ජීවත් වන තම චීන මිතුරා සොයා යයි. බිග්ෆුට් මෙන්ම යෙටී ද බොහෝ සේ ජනප්‍රිය විය. කෙසේ නමුත්, අද වෙන විටත් මෙවැනි සත්වයකු සැබැවින් ම ඇතැයි සිතිය හැකි සාක්ෂි කිසිවක් සොයා ගෙන නැහැ.

මේ පිළිබඳව දසවසරකට කලින් ඇමරිකාවේ ටෙක්සාස්හි පශු වෛද්‍යවරියක් වූ මෙල්බා එස්. කෙට්චම් තමන් බිග්ෆුට් ගැන කළ පර්යේෂණයක් ප්‍රසිද්ධ කළාය. ඒ ජාන ආශ්‍රයෙන් කළ පර්යේෂණයකි. ඒ මගින් ඇය ඔප්පු කරන්න උත්සාහ කළේ, ඒ වසර 15,000කට පෙර විසූ ආදි මානවයකු විය හැකි බවය. ඇයට ඒ සඳහා ආධාර කළ ඩීඑන්ඒ ඩයිගොනස්ටික් සමාගම ඒ පර්යේෂණ වාර්තාව ප්‍රසිද්ධ කර තිබුණි. ඒ පර්යේෂණය සඳහා කෙට්චම් හා පිරිස උතුරු ඇමරිකාවේ කැණීම් කළ ස්ථාන 30කින් සොයා ගතස්, රුධිරය, ශ්ලේෂ්මල, නියපොතු, ගස්වල පොතු සූරා ලබා ගත් කොටස්, ඛේට, සම් ආදී කොටස් සාම්පල 111ක් භාවිත කර තිබුණි.  “අප එක් රැස් කළ දත්තවලින් උතුරු ඇමරිකන් සැස්කොච් දෙමුහුන් සත්ව විශේෂයක් ලෙස දැක්වීමට හැකි වුණා. ඒ හඳුනා නොගත් හොමිනිඩ් මානවයකු හෝමෝ සේපියන් ගැහැනියක හා සංයෝග වීමෙන් බිහි වූ වෙනම මානවයකු ලෙස හැඳින් විය හැකියි.” ඇය පවසා තිබේ.

ඒ පර්යේෂණ වාර්තාව, ඩී නොවෝ විද්‍යාත්මක ජර්නලයේ පළ විය. ‘නව උතුරු ඇමරිකන් හොමිනින්වරු: පූර්ණ ජෙනෝමි තුනක පරම්පරා අනුපිළිවෙළ සැකසීම ආශ්‍රිත අධ්‍යයන’ යන නමින් පළ වූ ඒ පර්යේෂණ වාර්තාව ඒ පිළිබඳ විෂ්‍යයට අදාළ විද්‍යාඥයන් විසින් පිළිගෙන නැත. තවත් තර්කයක් ඉදිරිපත් විය. අයිස් යුගයේ දී දකුණු ආසියාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ යෝධ වානරයකු විය හැකි බවටය. හිම වලසකු තරම් විශාල ඒ සත්වයා වසර මිලියන දෙකකට පෙර ඇමරිකන් මහාද්වීපවලට එන්නට ඇති අතර ඌ වසර ලක්ෂයකට විතර ඉස්සර වඳ වී යන්නට ඇතැයි ඒ කතාවෙන් කියැවෙයි. මේ තර්කය සාමාන්‍යයෙන් පවතින්නේ විද්‍යා ප්‍රජාව අතරේය.

කෙසේවෙතත් බිග්ෆුට් ගැන විශ්වාස කරමින් තවමත් ඒ අද්භුත සත්වයා ගැන සෙවිල්ලෙන් සිටින අය පවසන්නේ ජයිජැන්ටිපිතිකස් බ්ලැකී (Gigantopithecus blacki) නම් ඒ සත්වයා ඇත්තෙන්ම ජීවත්වන බවය. වයඹදිග පැසිපික් කලාපයේ වනාන්තරවල රූස්ස ගස් අතර හැංගෙමින් වෙසෙන මේ සත්වයා අන් කිසිවකු නොව සැස්කොච් යැයි ඔවුහු කියති.  මේ තවත් පිරිසක් විශ්වාස කරන්නේ උතුරු ඇමරිකන් වනාන්තරවල මේ ගණයට අයත් වානර මිනිසුන් 2000ක පමණ ගහණයක් ඇතැයි ඔවුන් විශ්වාස කරයි. ඔවුන් කියන්නේ ඒ සතුන් සෑම ඇමරිකන් ජනපදයකම දර්ශනය වී ඇති නිසා බොරුවක් විය නොහැකි බවය.  ඒ වගේම පොත්පත්, පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය එන්නට කලින් මෙය ස්වදේශික ඇමරිකානුවන් අතර පැවති ප්‍රවාදයක් ලෙස සමහර සමාජ විද්‍යාඥයන් පැහැදිලි කර තිබේ. ඒ ආදි ගෝත්‍රිකයන් විශ්වාස කරනවා යෝධ අවතාර ආත්මයක් ඇතැයි කියාය. බිග්ෆුට් කියා දැන් හඳුන්වන්නේ ඒ යෝධ ආත්මයන්ය.

1958 දී ඉහත දැක්වූ පුවත පළවෙන්නට කලින් ඇමරිකාවේ පුවත්පත්වල එවැනි පුවත් පළ වූයේ නැත. ඒ වගේ ම 1967 දී ගන්නා ලද ගස් අස්සෙන් අතුරුදන් වී යන ලෝම පිරුණු සිරුරකින් යුත් ‘බිග්ෆට්’ගේ රූප රාමු පෙළත් ප්‍රෝඩාවක් ලෙස දැන සැලකෙයි. ඒ රූප රාමු පෙළ කැමරාවට නගා ඇත්තේ රොජර් පැටර්සන් හා බොබ් ගිම්ලින් යන දෙදෙනාය. පැටර්සන් 1972 දී පිළිකාවකින් මිය යන තෙක් ඒ රූප පෙළ සැබෑ එකක් ලෙස දිගටම කිව්වත් ඔහුගේ මරණයෙන් පසු බොබ් එය මැවූවක් බව හෙළි කළේය. බොබ් ගිම්ලින් ඔවුන් ඒ වීඩියෝ පටය සඳහා යොදා ගත් පා සලකුණේ අච්චුව පරීක්ෂා කරන ඡායාරූපයක් පැටර්සන්ගේ මරණයෙන් පසු ප්‍රසිද්ධ කෙරුණි.  මෑතදී ඩොලර් ලක්ෂ පහක් වැය කර සැස්කොච් ජෙනෝමි ව්‍යාපෘතියක් පැවැත්විණි. එයින් ද නොයෙක් දත්ත රැස් කෙරුණි ඒ වගේ ම පසුගිය දශකය තුළ සැස්කොච් දර්ශනය වීම් කීපයක් විමර්ශනය කෙරුණත් ඒවා ඵලදායී විය.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS