බෘහස්පති චන්ද්‍රයාගෙන් ඇසුණු හඬ



හරි අපූරු පුදුම හිතෙන කතාවක් තමයි මේ. පසුගිය ජූනි මාසයේ, හරියටම කීවොත් ජූනි 7 වැනිදා, නාසා විද්‍යාඥයන්ට හඬක් ඇසෙන්න විය. මේ හඬ ආවේ අභ්‍යවකාශයේ ඈත කෙළවරින්, බෘහස්පතිගේ ලොකුම චන්ද්‍රයා ගැනිමිඩ්ගෙනි. නාසා විද්‍යාඥයන්ට ඒ හඬ අසන්න සැලැස්සුවේ ජූනෝ ය. ජූනෝ යනු නාසා රොබෝ යානයකි.

නාසා විද්‍යාඥයන් ‘ජූනෝ’ යවා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ලොකුම ග්‍රහයා ලෙස සැලකෙන බෘහස්පති සහ බෘහස්පතිගේ චන්ද්‍රයන්ගේ රහස් සෙවීමේ විශේෂ අරමුණින්ය. ජූනි 7 වැනිදා ‘ජූනෝ’ හරහා, ගැනිමිඩ් චන්ද්‍රයාගෙන් අසන්න ලැබුණු ඒ ‘අද්භූත හඬ’ සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයන් මාධ්‍ය දැනුවත් කිරීමක් කළේ පසුගිය දෙසැම්බරයේය. එපමණක් නොවෙයි, ඒ අසාමාන්‍ය හඬ අසන්නටත් නාසා ආයතනය ඔවුන්ගේ වෙබ් අඩවි හරහා ඉඩ සලසා තිබේ. කුතුහලය දනවන එම හඬ විදෙස් මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධියට පත් කෙරුණි.

අමුතු හඬ ඇසෙන්න වී ඇත්තේ, ජූනෝ යානය, ‘ගැනිමිඩ්’ පෘෂ්ඨයට සැතැපුම් 645ක් (කි.මී. 1,038ක්) දුරින් ගමන් කරමින් සිටිද්දීය. අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති චන්ද්‍රයන් අතරින්, තමන්ගේ ම චුම්භක ක්ෂේත්‍රයක් ඇති එකම චන්ද්‍රයා ගැනිමිඩ් ය. සැතපුම් 3,280ක (කි.මී. 5,262ක) විෂ්කම්භයක් ඇති ගැනිමිඩ් බුද ග්‍රහයාටත් පමණක් නොවෙයි, කුරු ග්‍රහයකු ලෙස සැලකෙන ප්ලූටෝටත් වඩා විශාලත්වයෙන් වැඩිය. පසුගිය ජූනි 7 වැනිදා, ගැනිමිඩ් චන්ද්‍රයා ආසන්නයෙන් ජූනෝ යානය ගමන් කිරීමට ප්‍රථම, 2000 මැයි මාසයේ නාසා ආයතනය යැවූ ගැලීලියෝ යානයත් ඒ චන්ද්‍රයා අසලින් ගමන් කළේය. එසේ වුවත්, මිනිසා යැවූ යානයක් ගැනිමිඩ්ට වඩාත් සමීපයෙන් ගිය අවස්ථාව ලෙස සැලකිය හැක්කේ ‘ජූනෝ’ගේ ගමනය.

ජූනෝ රොබෝ යානය, රොකට්ටුවක ආධාරයෙන්, ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් ගුවන්ගත කරන ලද්දේ 2011 අගෝස්තු මාසයේදීය. වසර පහක් තිස්සේ ගිය ගමනකින් පසු යානය බෘහස්පති වෙත ළඟා වූයේ 2016 වසරේ ජූලි 4 වැනිදාය. ඉන්පසු බෘහස්පතිගේ කක්ෂයට පිවිසි ‘ජූනෝ’ එම කක්ෂයේ රැඳී හිදිමින්, බෘහස්පති සහ බෘහස්පතිගේ චන්ද්‍රයන් ගවේෂණය කරයි. ජූනෝ යානය මෙසේ ගමන් කරන්නේ පැයට සැතපුම් 41, 600ක (පැ.කී.මී. 67,000) වේගයකිනි. ඒ යානයට මේ අමුතු හඬ අසන්නට ලැබී තියෙන්නේ 34 වැනි වතාවට බ්‍රහස්පති ග්‍රහයා වටා ගමන් කරද්දී යැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

ජූනි 7 වැනිදා ගැනිමිඩ් චන්ද්‍රයාට වඩාත් ආසන්න වෙමින් යද්දී ඇසුණු ගුප්ත හඬ, ජූනෝ යානයේ තිබූ තරංග නිරීක්ෂක උපකරණ මගින් හසුකර ගනු ලැබුණි. ගැනිමිඩ් චන්ද්‍රයාගෙන් නිකුත් වූ අද්භූත ශබ්ද හසුකර ගැනීම සිදුකර ඇත්තේ, බෘහස්පති ග්‍රහයාගේ චුම්බකගෝලයේ දැවැන්ත චුම්බක ක්ෂේත්‍රයෙන් නිකුත්වන විද්යුත් හා චුම්බක තරංග හඳුනාගැනීම සඳහා සුසර කර තිබූ ජූනෝ යානයට සවි කළ තරංග නිරීක්ෂක උපකරණවලනි.

ජූනෝ ගැනිමිඩ් අසලින් යද්දී අසන්නට ලැබුණු අමුතු හඬ පිළිබඳ දත්ත පෘථිවියට එවීම ඉන් අනතුරුව සිදුවිය. එය සිදුවූයේ එහි තරංග ආයාමය වෙනස් කර ශබ්ද තරංග හඳුනා ගැනීමට හැකි වන පරිදි සකසා ගැනීමෙන් ද පසුවය. එම දත්ත තුළින් ඒ හඬ විශ්ලේෂණය කර විද්‍යාඥයෝ තත්පර 50ක හඬ පටයක් ප්‍රතිනිර්මාණය කළහ. නාසා ආයතනයේ නිල වෙබ් අඩවියට ගියවිට, ඔබට අසන්න ලැබෙන්නේ එහ හඬය. හඬ විශ්ලේෂණය කරමින්, එය ප්‍රතිනිර්මාණය කටයුතු කිරීමට සමත් වී ඇත්තේ නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ විද්‍යාඥය. මේ බව පළමුවෙන් මාධ්‍ය හමුවේ අනාවරණය වූයේ පසුගිය දා ඇමරිකන් භූ භෞතික සංගමයේ පැවැති විශේෂ රැස්වීමක් අතරතුරේය.

‘මේ ශබ්ද පටය හොඳටම ප්‍රමාණවත් ඔබට ජූනෝ යානයේ යන විට ඇසෙන ඒ අද්භූත හඬ අසා ඇති වන මවිතය විඳ ගන්නට‘ යැයි සැන්ට් ඇන්ටෝනියෝ හි සවුත්වෙස්ට් පර්යේෂණායතනයේ ප්‍රධාන ජූනෝ පර්යේෂක ස්කොට් බෝල්ටන් එම අවස්ථාවේදී පැහැදිලි කළේය. මේ වනවිට, පසුගිය 2021 නොවැම්බර් 29 වැනිදා ජූනෝ 38 වන වතාවට ඒ වටා යද්දී ගත් බෘහස්පතිගේ බමනය වන යෝධ කුණාටු දෙකක ඡායාරූප පවා ලබා ගෙන නාසා විද්‍යාඥයන්ට එවා තිබේ. ‘හොඳ අවධානයකින් ඇසුවොත් ඔබට මේ හඬ පටය මැද දී එක්වරම හඬ වැඩි වී යන අයුරු ඇසේවි. ඒ අවස්ථාවේ දී ජූනෝ යානය ගැනිමිඩ්ගේ චුම්බකගෝලයේ වෙනස් වන කලාපයකට ඇතුළු වන බව පැහැදිලි වෙනවා.‘ බෝල්ටන් වැඩිදුරටත් පෙන්වා දෙයි. ලැබුණු දත්ත තවදුරටත් විද්‍යාඥයන් අතින් විශ්ලේෂණය කෙරෙමින් පවතින බවත්, සමහර අමුතු ශබ්ද විකේතනය කරන්නට සිදුවනු ඇති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

‘හඬ පටය මැද දී ශබ්ද තරංගවල ආයාමය වෙනස් වෙන්නේ ගැනිමිඩ් ග්‍රහයාගේ දවල් කාලය ඇති කොටසෙන් රාත්‍රි කාලය ඇති කොටසට මාරුවන විට විය හැකියි’ යැයි අයෝවා විශ්ව විද්‍යාලයේ විලියම් කුර්ත් පැහැදිලි කර තිබේ. විලියම් කුර්ත් මේ ශබ්ද තරංග විමර්ශන ව්‍යාපෘතියේ සම පර්යේෂකවරයා ලෙස කටයුතු කරයි. ‘නවීන සංවේදක උපකරණ රැසක් මේ ජූනෝ යානය තුළ ඇති බවයි. ඒවා මගින් බෘහස්පති ග්‍රහයා සහ එහි ගැනිමිඩ් චන්ද්‍රයා පිළිබඳ තොරතුරු ලබා ගත හැකි දත්ත විශාල ප්‍රමාණයක් දැනටමත් පෘථිවියට එවා තියෙනවා. ඒ තොරතුරු විද්‍යාඥයන් තවමත් අධ්‍යයනය කරමින් සිටිනවා.’ යැයි ද විලියම් කුර්ත් පැහැදිලි කර තිබේ.

ගැනිමිඩ් චන්ද්‍රයා මතුපිට හිම වැස්මක් ඇත. ඊට අමතරව මතුපිට දීප්තිමත් දාර සේ පෙනෙන කඳු වැටි, අඳුරු අගාධ විවරයන් ආදියෙන් සමන්විත වෙයි. මේ පැළුම් විවර ඒ චන්ද්‍රයා අතීතයේ දී මුහුණ දුන් දරුණු කැළඹීම් වල තරම කෙබඳුදැයි සිතා ගත හැකියි යන්න විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමය.  ‘ගැනිමිඩ්ගේ හිම තට්ටුවෙහි සුදු සහ අඳුරු පැහැ කොටස් දැක ගන්න පුලුවන්. එහි සුදු කොටස්වල ඇත්තේ මිදුණු පිරිසිදු ජලය බවත්, අඳුරු කොටස්වල ඇත්තේ අපිරිසිදු ජලය ඇති හිම කොටස් බවත් කිවහැකි‘ යැයි බෝල්ටන් පවසා තිබේ.

ඉකුත් සති අන්තයේ, ජූනෝ යානය මෙහෙයවන පර්යේෂණ කණ්ඩායම බෘහස්පතිගේ දූවිලි වළලුවල අලුත් සේයා රුවක් නිකුත් කළේය. එය ගන්නා ලද්දේ, බෘහස්පති වටා ගිය 36 වන වතාවේදීය. ඒ, පසුගිය 2021 වසරේ සැප්තැම්බර් 2 වැනිදාය. ඒ සමඟ පර්යේෂකයන් බත්‍හස්පතිගේ චුම්බක ක්ෂේත්‍රයේ සිතියමක් ද ඉදිරිපත් කළේය. ඒ සඳහා තොරතුරු ලබා ගෙන ඇත්තේ ජූනෝ කක්ෂගත ගමන් වාර 32 ක එවූ දත්ත උපයෝගී කර ගැනෙයි. එහි බෘහස්පතිගේ මහා නිල් ලපය ද දක්වා තිබේ.

ජූනෝගෙන් ලද තොරතුරු පෘථිවියේ දත්ත හා සැසඳීමක් ද විද්‍යාඥයන් විසින් සිදු කරනු ලැබ තිබේ. බෘහස්පති ගේ ද්‍රැවවල ඇති කැළඹීම්වල රටා පෘථිවියේ සාගර කුණාටුවල රටා හා ඇති සමානකම් ඔවුන් විසින් පෙන්වා දී තිබේ. ‘මේ විධියට ඉදිරියේදිත් අපට රසවත් තොරතුරු ලැබේවි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ හා චන්ද්‍රයන්ගේ බොහෝ රහස් විද්‍යාඥයන් හෙළිදරවු කර ගනීවි. බෘහස්පති අපට වඩා දැවැන්ත එකක් වුනත් අපේ පෘථිවියේ සම්භවය ගැනත් අපට මේ මගින් අනාගතයේ බොහෝ දේ ඉගෙන ගත හැකි වේවි.’ යැයි බෝල්ටන් පැහැදිලි කර ඇත.

නාසා තොරතුරු ඇසුරිනි


RECOMMEND POSTS