ටී රෙක්ස්ගේ නම හැදුණු හැටි



මහ පොළොවේ ජීවීන්ගෙන්, මුළුමනින් ම වඳ වී ගිය සියලු ජීවීන් අතරින්, දැවැන්තම ජීවීන් විශේෂය ලෙස සැලකිය හැක්කේ මීසොසොයික යුගයේ ජීවත් වූ යෝධ උරගයින් විශේෂයයි. (පෙනුමින් යෝධ උරගයන්ට සමාන වුවත්, අස්ථි පිහිටීම් සහ අස්ථි ස්වභාවය අනුව ඩයිනසෝරයන් සමාන වන්නේ කුරුල්ලන්ටය.) වර්තමානයේ අපට දකින්න ලැබෙන උරගයන් අතරින් විශේෂයෙන් කැපී පෙනෙන්නේ සර්පයන්. උරගයන්ට, උරගයන් යන නම ලැබී ඇත්තේ ඔවුන්ගේ පොදු සංචරන විලාසය නිසාය.

සර්පයන්ට භාවිත කරන ඉංග්‍රීසි වදන වන ‘රෙප්ටයිල්’ (reptile) යන්න බිඳී ආවේ ලතින් බසෙහි එන ‘බඩ ගා යන’ (to creep) අරුත් දෙන ‘රෙපෙයා’ (repere) වදනින් ය. එමෙන්ම‍ ලතින් බසෙහි ‘බඩ ගා යන’ අරුත් දෙන තවත් වදනක් ඇත. ඒ, ‘සර්පියර්’ (serpere) යන්නය. සර්පයා (serpent) යන්න බිඳී ආවේ ඒ අනුවය. උරගයන් යන අරුත් දෙන ‘රෙප්ටයිල්’ (reptile) යන වදනෙන් හැඳින්වෙන සතුන් අතරට සියලු ම චලතාපී (cold-blooded) සතුන් ද අයත් වෙයි. එවැනි සතුන්ට කොරපොතු සහ අස්ථි ඇත. ඉන් ඇතැම් සතුන් බඩගා යයි. ඇතැමුන් පිහිනයි. ඇතැමුන් පැනීමට හපනුන්ය. එපමණක් නොවෙයි; ඇතැමුන්ට පියාඹන්නත් පුළුවනි.‍

දැනට වඳ වී ගොස් ඇති යෝධ උරගයන් පොදුවේ හැඳින්වෙන්නේ ඩයිනෝසෝර් යන වදනින් වුනත් විද්‍යාත්මකව බලන විට මේ ගණයට වැටෙන කුඩා සතුන් ද සිටී. ඇතැම් සතකු ප්‍රමාණයෙන් කිකිළියකට වඩා ලොකු නැත. එමෙන්ම දැවැන්ත බැවින්, ඩයිනෝසෝරයන් ලෙස හැඳින්වුව ද විද්‍යාත්මකව එසේ වර්ග කළ නොහැකි සතුන් ද සිටී. ඩයිනෝසෝර වදන තැනී ඇත්තේ බියකරු (terrible) යන අරුත් දෙන ‘ඩීනෝස්’ (deinos) හා කටුසු යන අරුත් දෙන ‘සෝ‍රෝස්’ (sauros) යන වදන් එක් වීමෙනි. එහි අරුත බියකරු කටුස්සන් (terrible lizards) යන්නය. මේ ‘ඩයිනෝසෝර’ (Dinosaur) යන වදන මුලින් හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ රිචඩ් ඕවන් (Richard Owen) ට ය.

ඩයිනොසෝරයන් අතුරෙන් බිහිසුණුම සත්වයා, එසේත් නැනම් ඩයිනසෝර රජු ලෙස සැලකෙන්නේ ටයිරන‍ොසෝරස් රෙක්ස් (Tyrannosaurus Rex) හෙවත් ටී. රෙක්ස් ය. හොඳින් වැඩුණු ටී රෙක්ස් සතකු අඩි 45ක් (මීටර ක්) පමණ දිගය. උස ජිරාෆයකු තරම් ය. හිස් කබල අඩි හතරක් (මීටර ක්) තරම් දිගය. මාංශ භක්ෂකයකු වූ උගේ දැවැන්ත මුඛයේ දතක් අඩියක් (සෙ. මී. 30ක්) දිගය. මේ මිහිමත ඇවිද ගිය සතුන් අතරින් දැවැන්තම මාංශ භක්ෂකයා ටී රෙක්ස් ය.

ග්‍රීකයන් අතර ටයිරනෝස් (tyrannos) යන වදන භාවිතයට ආවේ, රජ පෙළපතක උරුමයක් නොමැතිව, භීතිය පතුරුවමින් ආ, සාමාන්‍ය මිනිසුන් අතරින් මතු වූ මිනිසකු තනි පාලකයකු ලෙස, අත්තනෝමතිකව අණසක පතුරුවමින් පාලනය ගෙන යන අයකු (වර්තමානයේ ඒකාධිපතියකු) හැඳින්වීමටය. මේ වදනෙන් බිඳි ආ ඉංග්‍රීසි වදන වූ ටයිරන්ට් (tyrant) යන්නෙහි අරුත ‘අත්තනෝමතික පාලකයා’ යන්නය.

ග්‍රීකයන් විසින් ටයිරනෝස් යනුවෙන් හැඳින්වනු ලැබූ පාලකයා රජකුට වඩා දුෂ්ට පාලකයකු වුණේ නැත. ඔවුහු ක්‍රිස්තු පූර්ව 510 විසූ ‘ටයිරන්ට් හිපියාස්’ (tyrant Hippias) කියා හැඳින්වූ පාලකයා බලයෙන් පහ කොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඇති කර ගත්හ. එදා සිට ග්‍රීකයන් පොදුවේ ඒ නම ‘දුෂ්ට’ පාලකයන් හැඳින්වීමට යොදා ගැණුනි. (මෙවැනි අන්වර්ථ නාමයන් රජවරුන්ට යෙදීම අපේ රටෙත් සිදුවිය. ගැමුණු රජතුමා දුෂ්ට ගාමිණී හෙවත් දුටුගැමුණු කියා හැඳින්වූයේ එතුමා දුෂ්ට පාලකයකු වූ නිසා නොව; ද්‍රවිඩ පාලකයාට එරෙහිව යුද වදින්නට එපා කී පිය රජුට කාන්තා ඇඳුම් කට්ටලයක් යැවීම නිසාය.)

ටයිරන්ට් යන වදන අද පොදුවේ භාවිතවන්නේ නපුරු, දුෂ්ට, කුරිරු යන අරුතෙනි. එහෙත් එය වඩාත් නිවැරදිව වන්නේ, ප්‍රධානියා, නායකයා, මුදුනා, මූලිකයා යන වදන් අර්ථ ගැන්වීමටය. ලතින් වදනක් වූ රෙක්ස් (rex) යන්නේ අදහස් කෙරෙන්නේ ‘රජ’ (king) යන්නය. ඒ අනුව ටයිරන‍ොසෝරස් රෙක්ස් (Tyrannosaurus Rex) යන්නෙන් අදහස් කෙරෙන්නේ ‘කටුස්සන්ගේ රජු’ එසේත් නැතිනම් ‘උරගයන්ගේ රජු’ යන්නය.


RECOMMEND POSTS