සියලු ජාතීන්ට, ආගම්වලට සමාන සැලකිලි



ඇමෙරිකාවේ  වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලංකවේ සියලු ජාතීන්ට හා ආගමිකයන්ට සමානව සලකන බව වොෂිංටනයේ ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනයා අදහනු ලබන ආගම් හතරෙන් සෑම එකක් සඳහාම සැමරුම් උත්සව පැවැත්විම මගින් වොෂිංටන් තානාපති කාර්යාලය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික, සමාජීය සහ ආගමික අවශ්‍යතා සපුරාලන ඔවුන් සැවොම වෙනුවෙන් පවතින ආයතනයක් බව සහතික කර ඇති බව ද ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

වොෂිංටනයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  එම තානාපති නිල නිවසේදී පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගි වූ එරට මුස්ලිම් බැතිමතුන් අමතමින් තානාපතිවරයා මේ බව සදහන් කර ඇත.

මෙම උත්සවය සඳහා සහභාගි වන ලෙසට මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ප්‍රජා නායක රිස්වාන් මවුලානා මහතා තානාපති වෙත සිය ස්තූතිය පළකර සිටියේය. ඔහු ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව වෙනුවෙන් තමන් යාඥා කරන බවත් , සුබ පැතුම් එක් කරන බවත් පැවැසීය.

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන ආගම් හතරම සැමරීමේ ප්‍රතිපත්තිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් පොටොමැක් ඉස්ලාමීය ප්‍රජා පල්ලියේ සභාපති මොහොමට් වසීර් මුෂින් මහතා වොෂිංටන් සහ ඒ අවට වාසය කරන මුස්ලිම් ප්‍රජාවේ  ප්‍රසාදය තානාපති කාර්යාලය වෙත පළකර සිටියේය.

ලොව පුරා මුස්ලිම් වැසියන්ට මෙම පූජනීය මාසයේ වැදගත්කම අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී අසිස් හනිෆා මහතා පෙන්වා දුන්නේ මෙවැනි උත්සව සියලු ආගම්වල ජනයා සමග මිත්‍රත්වයේ බැඳීම් යළි ගොඩ නගා ගැනීමට අවස්ථාවක් උදා කරන බවයි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා අනෙකුත් ආගම්වල උත්සවවලදී තම දායකත්වය ලබා දෙන බවත් එලෙසින්ම අනෙකුත් ආගම්වල පිරිස් රාමාදාන් සමයේදී මුස්ලිම් ජනතාව සමග එක්ව සැමරුම් සිදු කරන බවත් ඔහු සිහිපත් කළේය.

සෙටෙඩ් අදිල් මවුලානා මහතා විසින් අදම් යාඥා මෙහෙය පවත්වනු ලැබීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආහාර පාන සහිතව ඉෆ්තාර් රාත්‍රි භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS