දේවානන්ද හිමියන්ගේ කෘතිය හොඳම කෘති 100 අතරට



ජර්මනියේ බර්ලින්නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සදානන්ද මහ පිරිවෙන් රජමහා විහාරාධිපති ආචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් බර්ලින්නුවර හුම්බෝල්ඩ්ට් ජාතික විශ්ව විද්‍යාලයේ ලෝක ආගම් හා දර්ශන පීඨයේ ලියාපදිංචිව ජර්මන් බසින් සිදුකරන ලද "ශ්‍රී ලංකාවේ බෞද්ධ පූජා හා උත්සවයන්හී ඓතිහාසික හා දාර්ශනික පසුබිම" යන පර්යේෂණාත්මක නිබන්ධනයට  උන්වහන්සේ වෙත ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක් "magna cum laude" සහිතව විශ්ව විද්‍යාලයේ දර්ශන පීඨය මගින් පසුගියදා ආචාර්ය උපාධිය පිරිනමන ලදී. මෙකී ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථය උදෙසා උන්වහන්සේ වෙත විශේෂ මුදල් ප්‍රදානයක් ද   සිදු කරන ලදී.

පිටු 488 න් සමන්විත මෙම නිබන්ධනය ජර්මනියේ Baden-Badenබාඩන්-බාඩන් නගරයේ Tectum Nomos (ටෙක්ටුම්-නෝමෝස්) සමාගම මගින් මුද්‍රණයද්වාරයෙන් එළිදක්වා ජර්මනියේ පර්යේෂණාත්මක කෘති පමණක් ඇති පුස්තකාල 200 ට අධිකව හා ජාතික විශ්වවිද්‍යාල පුස්තකාලවලට හා මහජන  පුස්තකාලවලට ද බෙදාහැර ඇත.

ජර්මන් බස භාවිත කරන ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව තුළද මෙම කෘතිය දැනට  යූරෝ 88 ක් හෙවත් (රු. 20, 680) මිළකට අලෙවි කරන අතර මේ වන විට නෝර්වීජියානු භාෂාවට ද මෙම කෘතිය පරිවර්තනයකොට  ක්‍රෝන 898 මිළකට අලෙවි  කෙරේ. 

සාමාන්‍යයෙන් ජර්මනියේ වසරකට නව කෘතීන් අසූ දහසක් පමණ මුද්‍රණයකොට එළි දක්වන අතර පසුගිය වසරේ එසේ මුද්‍රණයකොට එළිදක්වන ලද පොත් ප්‍රමාණය70,000කි. එසේම එම වසරේ ජර්මනියේ පොත් සඳහා යූරෝ මිලියාර්ඩ 9.3 ක මුදලක් රට තුළ සංසරණය වී ඇති බව තක්ෂේරුකොට ඇත.

2020 වසරේ ජර්මනියේ මුද්‍රණ ද්වාරයෙන් එළි දැක්වුන පොත් 70,000   ක සංඛ්‍යාවෙන් හොඳම පොත් 100 අතරට ආචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් විසින් ජර්මන් බසින් රචිත "ශ්‍රී ලංකාවේ බෞද්ධ පූජා හා උත්සවයන්හී ඓතිහාසික හා දාර්ශනික පසුබිම" යන කෘතිය ද ඇතුලත්වී තිබේ.

සුනිල් ආනන්ද
පැරිසියේ සිට

RECOMMEND POSTS