උත්තර ප්‍රදේශ් මහ ඇමැති හමුවෙයි



ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ එරට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් අතර හමුවක් ලක්නව් නුවරදී ඉකුත් දා පැවැත්විණි.

“ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයේ ඒකාබද්ධ උපාය මාර්ගය” සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ මාර්ග දැක්මේ සඳහන් පරිදි ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ප්‍රාන්ත අතර අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාන්ත මට්ටමින් සහයෝගීතාව පුළුල් කිරීමේ කොටසක් ලෙස මිලින්ද මොරගොඩ මහතා උත්තර් ප්‍රදේශ ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස මුණ ගැසිණි.

ලක්නව් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි.

උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව අතර පවතින පෞරාණික සහ ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීම් පිළිබඳව සමාලෝචනය කළ අතර ඒවා තවදුරටත් ශක්තිමත් කර ගත හැකි ක්‍රම පිළිබඳව ප්‍රධාන අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළහ.

කුෂිනගර් හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත කරන ලද මංගල ගුවන් ගමන සඳහා ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පැමිණීම සම්බන්ධයෙන් තමන් ඉමහත් සතුටටත් පත්වන බවත් එය ගෞරවයක් බවත් උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා කීවේය.

බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු වැදගත් ස්ථාන හයක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇති බව සඳහන් කළ ප්‍රධාන අමාත්‍ය යෝගී ආද්‍යනාත් පැවැසීය.

ශ්‍රී ලංකාවේ ද රාමායනයට සහ රාම දෙවියන්ට (රාමා) සම්බන්ධ ස්ථාන ගණනාවක් ඇති බව ඊට පිළිතුරු දෙමින් මහ කොමසාරිස්වරයා කීය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍රය අතර සහයෝගීතාව වැඩි කිරීමට විශාල අවස්ථාවක් සහ හැකියාවක් පවතින බව මෙහිදි පෙන්වාදුන් මහ කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු යැයි මෙහිදි යෝජනා කළේ ය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා එවැනි යෝජනාවකට එකඟතාව පළ කර ඇති අතර එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන්නැයි සිය ඉහළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි කළ ආරාධනාව ද ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් මෙහිදි පිළිගත්තේ ය.

උත්තර් ප්‍රදේශ් රජයේ ප්‍රධාන ලේකම් ශ්‍රී රාජේන්ද්‍ර කුමාර් තිවාරි සහ තවත් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් මෙම රැස්වීමට එක්ව සිටියහ.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS