ෂැංහයි එක්ස්පෝ 2021



මේ දිනවල චීනයේ  ෂැංහයි හි පැවැත්වෙන 4 වැනි ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ 2021 ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික සමාගම් 25ක් සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙම ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කළ අවස්ථාවේ දී ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා අතථ්‍ය අයුරින් දේශනයක් පැවැත්වීය.
මෙම ප්‍රදර්ශනයට ආහාර පාන අංශය නියෝජනය කරමින් සමාගම් 19ක් සහභාගී වන අතර එක් සමාගමක් පාරිභෝගික නිපැයුම් අංශය තුළ සිය නිපැයුම් ප්‍රදර්ශනය කරන අතර මැණික් හා ස්වර්ණාභරණ අංශයේ නිෂ්පාදන  සමාගම් පහක්  මඟින් ප්‍රදර්ශනය කරනු ලබයි. ලක්සල ආයතනය ප්‍රථම වරට මෙම ප්‍රදර්ශනයේ දී සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කරයි.
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා විසින් ආහාර පාන අංශය සහ මැණික් හා ස්වර්ණාභරණ අංශය උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. සමාරම්භක උත්සවය ඇමතූ තානාපතිවරයා කියා සිටයේ ලාභදායී චීන පාරිභෝගික වෙළඳපොළ තුළ සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමාගම්වලට ප්‍රදර්ශනය මඟින් සුවිශේෂී අවස්ථාවක් හිමි වන බව ප්‍රකාශ කළේය.

මෙමඟින් දෙරට අතර පවතින වෙළෙඳ පරතරය අවම කර ගැනීමට ශ්‍රී ලංකාවට පැහැදිලි අවස්ථාවක් උදා වූ බවත් පෞද්ගලික අංශයට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වූ බවත් තානාපතිවරයා  වැඩිදුරටත් පැවසීය.
සැලකිය යුතු දුෂ්කරතා විශේෂයෙන්ම වසංගතය ආශ්‍රිත සීමාවන් මඟහරවා ගනිමින් මෙම ප්‍රදර්ශනය තුළ තම නිෂ්පාදන ප්‍රදර්ශනය කළ සමාගම්වලට සිය ස්තුතිය පළ කළ තානාපති පාලිත කොහොන මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නායකත්වය යටතේ 2022 දී පැවැත්වීමට නියමිත මීළඟ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස ඔහු තවත් ශ්‍රී ලාංකික සමාගම් දිරිමත් කළේය.

ලංකා තේ, කුළුබඩු, පොල් සහ කොහු නිෂ්පාදන, වියළන ලද කාබනික පලතුරු, කාබනික පලතුරු නිෂ්පාදන, කාබනික මී පැණි, පුද්ගලික සත්කාර සහ සුවතා නිෂ්පාදන, කිතුල් නිෂ්පාදන, තල, තක්කාලි සෝස්, මිරිස් සෝස්, මාළු සෝස්, මිරිස් සහ සුදුළූණු සෝස්, පැණි රසැති මිරිස් සෝස් , මෙයොනීස්, බෙල්ලන්ගෙන් සැකසූ සෝස්, බාබකිව් සෝස්, බිස්කට් සහ වෙනත් රසකැවිලි ආදිය ආහාර පාන අංශය තුළ විදහා දක්වන ලදි. ඊට අමතරව ලයන් බෲවරි සමාගමේ බීම වර්ග ද විදහා දැක්විණි. මැණික් හා ස්වර්ණාභරණ අංශය නියෝජනය කරමින් ලක්සල ඇතුළුව සමාගම් පහක් මෙම ප්‍රදර්ශනයට සහභාගී විය.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS