ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර



ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස අද (15) පස්වරුවේ වැඩ බාරගැනීමට නියමිත ය.

නැවත වරක් මහ බැංකුවේ නායකත්වය දැරීමට හැකි වීම මා ලද භාග්‍යයක් වන අතර මෙම වගකීම බාරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය හා පැහැදීම පිළිබඳව නිහතමානීව සතුටු වන බවත් හෙතෙම කියයි.

මෙරට ජනතාවගෙන් තමන්ට ලැබුණු සුබ පැතුම් තමන් බෙහෙවින් අගය කරන බවත් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ නොහෙලා ආර්ථිකය අඛණ්ඩව ස්ථායීතාව කරා යොමු කරන බවට ඒ සියලු දෙනාට සහතික වන බවත් ඔහු පවසයි.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටින දක්ෂ සහ පළපුරුදු කාර්යමණ්ඩලයේ සමීප සහයෝගය මෙන්ම මා නුදුරේදීම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන සියලු පාර්ශවවල සහයෝගය ද අපේක්ෂා කරන බව හෙතෙම කියයි.

රජය බැංකුකරුවන්, ආනයනකරුවන්, අපනයනකරුවන්, ණය දෙන්නන්, ණය ගන්නන්, ආයෝජකයන්, සංවර්ධන කාර්යවල නිරතවන්නන්, සේවා සපයන්නන්, කාර්මික ව්‍යාපාර, විනිමය ආයතන, සිල්ලර වෙළෙඳුන්, තොග වෙළෙඳුන්, සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික ස්ථායීතාව අත්විඳිය යුතු බවත් අනවශ්‍ය බිය දුරු වී අහිතකර අපේක්ෂා උත්සන්න නොවන්නේ එවිට බවත් හෙතෙම පවසයි.

එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විශේෂයෙන්ම ම වර්තමානය වැනි කැලඹිලි සහිත කාලපරිච්ඡේදවල දී ආර්ථිකයේ සියලුම පාර්ශවකරුවන්ට මහ බැංකුව පැහැදිලි සහ ස්ථීරසාර මඟ පෙන්වීමක් ලබා දිය යුතු බවත් එබැවින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම අපේක්ෂිත මාවත තුළ මෙහෙයවීම සම්බන්ධයෙන් පැහැදිලි පණිවුඩයක් ලබාදීම සඳහා එමඟින් මූල්‍ය අංශයේ ස්ථායීතාව සහතික කිරීමේ මගේ අධීක්ෂණය යටතේ මහ බැංකුවේ ඉහළම ප්‍රමුඛතාව හිමි වන කාර්ය බවත් කබ්රාල් මහතා කියයි.

එම ඉලක්කය සපුරා ගැනීම සඳහා මහ බැංකුවේ සිය කැපවීම පිළිබිඹු වන පරිදි අවශ්‍ය පියවර ගත යුතු බවත් ඒ සඳහා සියලුම පාර්ශවකරුවන්ට අනුගමනය කළ හැකි කෙටිකාලීන පෙර දැක්මක ස්වරූපයේ ප්‍රතිපත්ති මාලාවක් හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් කබ්රාල් මහතා වැඩිදුරටත් පවසයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ද වන හෙතෙම 2006 වසරේ ජූලි මාසයේ 2015 වසරේ ජනවාරි මාසය දක්වා එම තනතුර හෙබවීය.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කබ්රාල් මහතා වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයකු වන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හා දකුණු ආසියානු ගණකාධිවරුන්ගේ සම්මේලනයේ හිටපු සභාපතිවරයකු ද වෙයි. ආයතනික පාලනය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපදේශකවරයකු ද වන ඒ මහතා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ පාලනයේ යහ පුරුදු පිළිබඳ ව්‍යවස්ථා මාලාව වැඩිදියුණු කළ ඒකාබද්ධ පාලන කමිටුවේ හිටපු සභාපතිවරයා ද විය.

කබ්රාල් මහතා කළමනාකරණ උපදේශකයෙකු ලෙස ව්‍යාපාර පුනර්ජීවනය හා නැවත සැකසීම, සැලසුම් කිරීම හා අයතනික පාලනයට අදාළ ව කටයුතු කළ අතර එම අවධියේ ලැයිස්තුගත හා ලැයිස්තුගත නො කළ සමාගම් ගණනාවක සහාපතීත්වය සහ/හෝ අධ්‍යක්ෂ තනතුරු ද හෙබවීය. එමෙන්ම ඔහු සුරැකුම්පත් හා විනිමය කොමිසම, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය, පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය හා මොරටුව විශ්වවිද්‍යාලය යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළේ ය. කබ්රාල් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ අයිසන්හවර් පදනමේ “2000 Multi – Nation Programme” හි අධි ශිෂ්‍යත්වලාභියෙකි.


RECOMMEND POSTS