පළමු වරට වෙළෙඳ ගිණුමේ අතිරික්තයක්



වසර 20කට පසු පළමු වරට වෙළෙඳ ගිණුමේ අතිරික්තයක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඉකුත් ජූනි මාසයේ දී, මෙලෙස වෙළෙඳ ගිණුමේ අතිරික්තයක් වාර්තා වී තිබෙන අතර ඒ 2002 වසරේ අගෝස්තු මාසයෙන් පසුව ය.

මෙතෙක් වාර්තා වූ ඉහළම මාසක අපනයන ඉපැයීම සහ ආනයන වියදමේ අඛණ්ඩව පහත වැටීම ඊට හේතු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

සංචාරක උපදේශන හා බැඳුණු ඍණාත්මක බලපෑම් සහ ඉන්ධන හිඟය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන දුෂ්කරතා තිබියදීත්, සංචාරක ඉපැයීම් පෙර වසරේ පැවැති පහළ පදනමේ සිට මේ වසරේ ජූනි මාසයේ දී (වාර්ෂික ලක්ෂමය පදනම මත) වැඩිවීමක් වාර්තා කර ඇතැයි ද මහ බැංකුව කියයි.

අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පිළිබිඹු කරමින්, මේ වසරේ මැයි මාසයට සාපේක්ෂව, මේ වසරේ ජූනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මන්දගාමී වී ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව ඉකුත් ජූනි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනවල සුළු ශුද්ධ ලැබීමක් වාර්තා වී තිබෙන අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනවල සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා වී තිබේ.

අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විසින් විදේශ සංචිත අඛණ්ඩව භාවිත කර තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස භාවිත කළ හැකි දළ නිල සංචිත ප්‍රමාණය අවම මට්ටමකට පත්ව ඇතැයි ද මහ බැංකුව කියයි.

මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 360ක මට්ටමක පැවැතුණු බව ද ජූනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය නිවේදනය කරමින් මහ බැංකුව සඳහන් කරයි.


RECOMMEND POSTS