විෂන් කෙයා කාන්තා අක්‍ෂි සෞඛ්‍යයේ වැදගත්කම කියයි



2021 මාර්තු 08 වැනිදා කොළඹ ඃ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය කාන්තාවන්ගේ අක්‍ෂි සෞඛ්‍යය සම්බන්ධයෙන් අවධානය යොමු කරයි.

කාන්තාවන් බොහෝවිට ඔවුන්ගේ පවුලේ සෞඛ්‍යය සහ සුබසාධනයට ප්‍රමුඛත්වය දැක්වූවද තමන්ගේ සෞඛ්‍යය පිළිබඳව නිසි තැකීමක් නොකරයි. මේ හේතුවෙන් අක්‍ෂි සෞඛ්‍යය ඇතුළුව දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටළු ඇති වීමේ හැකියාව වැඩි වේ. සෑම කාන්තාවක්ම, විශේෂයෙන්ම වයස අවුරුදු 40ට (හතළිහ) වඩා වැඩි කාන්තාවන් වසරක් පාසා අක්‍ෂි පරීක්‍ෂණයක් සදහා යොමු විය යුතු අතර කලින් හඳුනා ගැනීම තුළින් දෘෂ්ටි දෝෂ බොහෝමයක් මඟහරවා ගැනීමේ හැකියාව ඇත.  Presbyopia  යනු වයස අවුරුදු 40 ආසන්න වන විට ඇතිවන දෘෂ්ටි දෝෂ තත්ත්වයක් වන අතර එහි දී ලඟ ඇති වස්තූන් පැහැදිලිව දැකීමට ඇති හැකියාව ක්‍රමයෙන් අඩුවෙයි. මෙවන් දෘෂ්ටි තත්ත්වයන් කලින් හඳුනාගෙන ඇස් කණ්ණාඩි, කාච හෝ ශල්‍යකර්ම මගින් බොහෝ දුරට නිවැරදි කර ගැනීමේ හැකියාව පවතී.

එදිනෙදා ජීවිතයේ කටයුතු වල දී ඇතිවිය හැකි අක්‍ෂි අනතුරු බොහෝ දුරට අවම කර ගැනීම සඳහා, රසායනික ද්‍රව්‍ය හෝ තියුණු ආයුධ භාවිතයේ දී නිවැරදි ලෙස අක්‍ෂි ආරක්‍ෂණ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය වේ.  එමෙන්ම පරිගණකයක් භාවිතා කරන අවස්ථාවලදී සෑම මිනිත්තු 20කට  වරක්ම පරිගණක තිරයෙන් දෑස් ඉවතට ගැනීම සහ දෑස් වලට විඩාවක් ඇති නොවන පරිදි විවේක ගැනීම වැදගත් වේ.

කාන්තාවන් බොහෝවිට විලාසිතාවන් සඳහා නොයෙකුත් වර්ණයේ සිවිකාච භාවිතා කරනු ලබයි. මෙලෙස සිවිකාච භාවිතයේදී වුවද තම දෑස පළපුරුදු දෘෂ්ටි විශේෂඥයින් විසින් පරීක්‍ෂාවට ලක් කර ගැනීමෙන් පසුව විශ්වාසවන්ත අක්‍ෂි සේවා ආයතනයකින් මිලදී ගැනීම වැදගත් වේ. එසේ නොමැතිව, වගකීමකින් තොර සාප්පු හෝ ඔන්ලයින් සේවා හරහා ලබා ගන්නා සිවිකාච භාවිතය මගින් අක්‍ෂි දෝෂ ඇති විය හැක. එමෙන්ම කිසි විටෙකත් තම සිවිකාච අන් අය සමඟ හුවමාරු කර ගැනීම නොකළ යුතුය. තවදුරටත් අක්‍ෂි ආරක්‍ෂා කර ගැනීම සඳහා සමබර ආහාර වේලක් සහ පලා වර්ග නිරන්තරයෙන් ආහාරයට ගැනීම වැදගත් වෙයි.

විද්‍යාත්මක පරීක්‍ෂණවලට අනුව කාන්තාවන්ගේ දෘෂ්ටි දෝෂ බොහොමයක් වයස්ගත වීමත් සමඟ ඇතිවන ආබාධ වන අතර ඇතැම් දෘෂ්ටි දෝෂ හෝමෝන වෙනස්කම් තුළින් ද ඇති විය හැක. බොහෝ මැදිවියේ කාන්තාවන් හට ආර්තවහරණයත් සමගම ඇසේ වියළි භාවය (Dry eye syndrome) ඇති වන අතර ගර්භණී සමය තුළ දී ඇති වන හෝමෝන වෙනස්වීම් මගින් ඇස් ඉදිමීම, දියවැඩියා retinopathy  තත්ත්වය සහ වර්තන දෝෂ ඇතිවීමේ ඉඩ කඩ පවතී. බොහෝ තත්ත්වයන් ගර්භණී සමයෙන් පසුව පහව ගියද ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.

මෙවන් සරල පියවර මගින් දිනපතා දෑස් රැක ගැනීමට යොමු වනවා මෙන්ම, වසරකට වරක් නිසියාකාර අක්‍ෂි පරීක්ෂාවක් වෙත යොමු වීම සෑම කාන්තාවකටම වැදගත් වෙයි. විෂන් කෙයා ආයතනය මගින් ඉහල තත්ත්වයේ අක්‍ෂි පරීක්‍ෂණ සේවා, ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි සහ සිවිකාච මෙන්ම ශ්‍රවණාධාර සහ ශ්‍රවණ පරීක්‍ෂණ සේවාවන්ද ලබා ගැනීමේ හැකියාව පවතී. විෂන් කෙයා හිදී ඔබට ලොව ප්‍රචලිත සන්නාමයන් යටතේ ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි සහ සිවි කාච සාධාරණ මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමි වේ.


RECOMMEND POSTS