නෙළුම් කුලුනේ බන්ජි ජම්පින්



ලෝකයේ ප්‍රචලිත බංජි ජම්පින් (Bungee Jumping) ක්‍රීඩාව එළඹෙන ජනවාරි මස සිට කොළඹ නෙළුම් කුලුන ආශ්‍රිතව ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව නෙළුම් කුලුනේ ඉහළ ඉදිකෙරෙන විශේෂ පීඨිකාවක සිට බංගි රැහැන් ආධාරයෙන් වා තලයේ මීටර 260ක් පහළට පැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ට ද උදාවනු ඇත. එය ලොව දීර්ඝතම බන්ජි පිම්ම වන බව ද සඳහන්ය.

බන්ජි ජම්පින් ක්‍රීඩාව ආරම්භ කිරීම සඳහා විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීම නෙළුම් කුලුන පරිශ්‍රයේ දී ඉකුත් 7 වැනිදා සිදුවිය.

ජපානයේ හිමිකාරීත්වය ඇති සිංගප්පූරුව කේන්ද්‍ර කරගත් මෙම සමාගම චීනය, කැනඩාව ඇතුළු රටවල් ගණනාවක බංජි මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර, වසරකට බංජි පිමි පැනීමේ ලෝලීන් 10,000ක් ශ්‍රී ලංකාවට රැගෙනඒමට ද එම සමාගම සැලසුම් කර ඇත.

මෙම එක් බංජි පිම්මක් සඳහා විදේශිකයකුගෙන් ඩොලර් 600ක ගාස්තුවක් අයකිරීමට සැලසුම් කර ඇති අතර, දේශීය සංචාරකයන්ගෙන් අයකෙරෙන මුදල පිළිබඳ අවසන් නිගමනයකට මෙතෙක් එළඹ නැත.

නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ බන්ජි ජම්පින් ක්‍රීඩාව සඳහා නෙළුම් කුළුන තෝරා ගැනීම එම විදේශීය සමාගමට සහ ශ්‍රී ලංකාවට නව අත් දැකීමක් බවයි.

ලෝකයේ ඇති කුළුණු අතරින් උස අනුව 19 වන ස්ථානය නෙළුම් කුලුනට හිමිවී ඇති බව කී ප්‍රසාද් සමරසිංහ මහතා මෙම ක්‍රීඩාවෙහි නියැලෙන ලොව විවිධ රටවල සමාගම් නෙළුම් කුලුනෙහි මෙම ක්‍රීඩාව ආරම්භ කිරිමට ඉතා කැමැත්තෙන් සිටින බවද කීය.

එසේම මෙම ක්‍රීඩාව සඳහා සියයට 100 ක ආයෝජනය සිදුකරන්නේ විදේශීය සමාගම වන අතර එහි ආදායමෙන් සියයට 15 ක අදායමක් ශ්‍රී ලංකාවට හිමිවන බව ද ඔහු සඳහන් කළේය.

ලෝකයේ ප්‍රචලිතව ඇති මෙම ක්‍රීඩාව මෙරට ආරම්භ කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බව ද ඔහු පැවසීය.

නෙළුම් කුලුන ඉතා ආකර්ෂණීය සංචාරක ස්ථානයක් වනු ඇති බවත් එය විවෘත කර දින 20ක් ඇතුළත රුපියල් මිලියන 72 කට ආසන්න ආදායමක් අපයා ඇති බවත් සමරසිංහ මහතා සඳහන් කළේය .

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන ඉතා හොඳ ආයෝජන කලාපයක් බවට නෙළුම් කුලුන ඉදිරියේදි පත්වන බව ද හෙතෙම පැවසීය.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS