ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන දවස කියන්න බෑ



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගනිමින්, ණය ප්‍රතිව්‍යුහගත කරමින්, ආර්ථික පුනර්ජීවනය සඳහා සාර්ථක ක්‍රියා මාර්ග අනුගමනය කළත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් වන්නේ කවදාද යන්න පිළිබඳව නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීම දුෂ්කර බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

‘ලබන වසරේදී රටේ ආර්ථිකය නියමිත මාර්ගයට ගැනීමට හැකි වුවද එය යළි හොඳ තත්ත්වයකට ගන්න බැහැ’ යැයි ද  ආචාර්ය වීරසිංහ මහතා පැහැදිලි කරයි. ශ්‍රී ලංකා  පුවත්පත් ආයතනයේ ‘පුවත්පත් සමාජය’ (ප්‍රෙස් ක්ලබ්) කොළඹදී සංවිධානය කළ විශේෂ දේශනයකට එක්වෙමින්, මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

 ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා’ මැයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ (23) පස්වරුවේ පැවැති එම දේශනයේ දී මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීවේය.

‘ඉදිරි සති කිහිපය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම ස්ථාවරව පවත්වා ගැනීමට අප උත්සාහ ගන්නවා. අප මේ වසර අවසානයේ තවත් ක්‍රියා මාර්ග හඳුන්වා දීමට සූදානමින් සිටිනවා. ඒ සියල්ල සාර්ථක වුවහොත්, ආර්ථිකය ලබන වසරේ යළි නියමිත මාර්ගයට ගන්න හැකියාව ලැබේවි.

ඉදිරියේ දී ශ්‍රී ලංකිකයන් වැඩි දෙනකුට රැකියා අහිමි විය හැකියි. ඔවුන්ට දරිද්‍රතා රේඛාවට පහළින් සිටීමට සිදුවෙන්නත් පුළුවන්. අප ඉදිරියේදී ජනතාවට මුදල් ප්‍රදාන සහ අනෙකුත් දිරිගැන්වීම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ දැනට පවතින විදේශ සංචිත ප්‍රමාණය අඩුවීමයි. ලංකාවට සතියකට  අවශ්‍ය ආනයන සඳහා මුදල් සැපයීම පවා එය ප්‍රමාණවත් නැහැ. අපට ඉදිරි වසර කිහිපය තුළ ණය හිමියන් හත් දෙනකුට ගෙවීමට ඩොලර් බිලියන 6 ක් අවශ්‍යයි. වත්මන් සංචිතය ඩොලර් බිලියන 10 යි. එනිසා,  2022 අප්‍රේල්  12 වැනි දා ශ්‍රී ලංකාව ණය හිමියන්ට ගෙවීමට තිබූ ණය නතර කිරීමට පියවර ගත්තා.

රජය ණය හිමියන්ගේ ණය බැඳීම් ඉටු කිරීමට නොහැකි බව නිවේදනය කර තිබෙන අතර, දිගු කාලයක් පුරා වගකීම් ඉටු කිරීම සඳහා වැඩි කාලයක් සහ සහන පියවර ඉල්ලා කිබෙනවා

ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවත් දුෂ්කර ක්‍රියාවලියක් වන නමුත් මහ බැංකුව සාකච්ඡා පවත්වමින් ඒ සම්බන්ධයෙන් එකගතාවක් ඇති කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සාමාන්‍යයෙන් මාස 2-3ක් තිස්සේ පවතිනවා. ශ්‍රී ලංකාවේ විදේශ ණය තිරසාර නොවන බැවින්,  ණය බැඳීම් තිරසාර මට්ටමකට ගෙන එනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර මුදලක් ලබා ගැනීම අසීරුයි. ශ්‍රී ලංකාව මීට පෙර කිසි දිනෙක ණය ප්‍රතිව්‍යුහගත කර නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාවට මෙම ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් නැතැයි ද මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

අපි වඩාත් සැලකිල්ලක්, අවධානයක් දැක්විය යුත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආයනයන කිරීමටයි. අපි ඉන්ධන, ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ ආනයනය කරනවා ද  නැතිනම් වෙනත් දේ ආනයනයට ඉඩ දෙනවා ද කියා කල්පනා කළ යුතුයි. ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ ගෑස්, ඉන්ධන, ඖෂධ, ආහාර වැනි අත්‍යාවශ්‍ය දේ ලබා දීමටයි

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින්නේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා. ඒ සඳහා මහ බැංකුවේත් මූල්‍ය අමත්‍යාංශයේත් නිලධාරීන් සහභාගී වෙනවා. රටේ මුදල් ඇමැති කෙනෙක් නැතිවීම ගැටලුවක්දැයි ප්‍රශ්නයක් යොමු කළා. මුදල් අමාත්‍යවරයකු පත් කර නොමැති වීම දැනට ගැටලුවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේ සාකච්ඡාවලදී ඊට කැබිනට් මණ්ඩලය සහ මුදල් ඇමැතිවරයකු සිටීම අවශ්‍යයි.


RECOMMEND POSTS