ශ්‍රී ලංකා මහ බැංකුව නව නියොජ්‍ය අධිපතිවරියක්



කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත. දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු ලෙස කටයුතු කළ අතර මුදල් මණ්ඩලයේ ලේකම්වරියක ලෙස කටයුතු කළා ය.

මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව මුදල් මණ්ඩලය විසින් මෙම උසස් කිරීම කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා නියාමන, සාර්ව විචක්ෂණශීලිතා අධ්‍යයන, මූල්‍ය, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණ, ප්‍රාදේශීය සංවර්ධන, මානව සම්පත් කළමනාකරණ සහ පුහුණු හා සංවර්ධන යන ක්ෂේත්‍රවල විවිධ තනතුරු හොබවා ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 31කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.

ඇය ප්‍රධාන ගණකාධිකාරි සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා මූල්‍ය පද්ධති ස්ථායීතා යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ලෙස සේවය කර ඇති අතර බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ නීතිමය රාමුව සහ පාලනය සවිමත් කිරීම වෙනුවෙන් දායකත්වය දක්වා තිබේ.

නියෝජ්‍ය අධිපති ලෙස පත් කිරීමට පෙර දවුලගල මහත්මිය සාර්ව විචක්ෂණතා අධ්‍යයන හා බැංකු අධ්‍යයන කේන්ද්‍රය යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස සහ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළා ය.

ඊට අමතරව, දවුලගල මහත්මිය මුදල් අවදානම් අධීක්ෂණ කමිටුවේ, මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුවේ සහ ආචාර ධර්ම කමිටුවේ ලේකම් ලෙස ද කටයුතු කළා ය.

තව ද, ඇය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වෙත මුදාහැර තිබූ අතර එහි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළා ය.

එම අමාත්‍යාංශයේ අදළ තනතුර දරන කාලය තුළ දවුලගල මහත්මිය ලංකා බැංකුවේ මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂවරයකු ලෙසත් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කළා ය.

ඊට අමතරව දවුලගල මහත්මිය ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය ලෙස ද කටයුතු කරන්නී ය.

දවුලගල මහත්මිය එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් (University of Essex, UK) මූල්‍ය හා ව්‍යාපාරික ආර්ථීක විද්‍යාව පිළිබඳ  විද්‍යාපති උපාධියත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනපති උපාධියත් ලබා ඇත.

දවුලගල මහත්මිය එක්සත් රාජධානියේ  වරලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ අධි සාමාජිකාවකි.


RECOMMEND POSTS