උද්ධමනය සියයට 29.8ක් දක්වා ඉහළට



අප්‍රේල් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 29.8ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය මාර්තු මාසයේ දී මෙරට උද්ධමනය සියයට 18.7ක් වූ බවත් එය අප්‍රේල් මාසයේ දී මෙලෙස සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන් මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ ගොස් ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මාර්තු මාසයේ පැවති සියයට 30.2හි සිට අප්‍රේල් මාසයේ දී සියයට 46.6 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 13.4හි සිට මේ වසරේ අප්‍රේල් මාසයේ දී සියයට 22.0 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 9.25ක් ලෙස වාර්තා වී ඇති අතර, ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 4.95කින් සහ සියයට 4.31කින් ඉහළ යෑම ඊට හේතු වී තිබේ.

ඒ අනුව, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්), අධ්‍යාපනය (උපකාරක පන්ති ගාස්තු), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නිවාස කුලී, නඩත්තු/පිළිසකර කිරීම්) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගොස් ඇත.

තවද, ආහාර කාණ්ඩය තුළ, අප්‍රේල් මාසයේ දී, කිරිපිටි, සහල්, පාන්, පරිප්පු, සීනි සහ කරවල මිල ගණන් ඉහළ ගොස් තිබේ.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS