විශ්වයේ අලුත්ම අරුමය



පළමු වරට අභ්‍යවකාශෙයන් හරි අමුතු අපූරු වස්තුවක් සොයා ගැනීමට විද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ. මේ සොයා ගැනීම කළේ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ (එම්.අයි.ටී.) විද්‍යාඥ පිරිසකි. විශ්වයේ ආරම්භය ගැන මෙතෙක් දැන සිටි කරුණු කාරණා, මෙම නව සොයා ගැනීමත් සමග උඩු යටිකුරු වනු ඇතැයි එම සොයා ගැනීමට සම්බන්ධ වුණු විද්‍යාඥයන්ගේ මතයයි. මොකක්ද මේ සොයා ගැනීම? මොකක්ද මේ අමුතු වස්තුව? මේ වස්තුව, කළු කුහරයක්ද? නැත්නම් තරුවක්ද? එහෙමත් නැතිනම් ඒ දෙකමද? විද්‍යාඥයන් මේ වස්තුව හඳුන්වන්නේ ‘කළු කුහර තරකාව’ යනුවෙනි.

මේ කළු කුහර තාරකාව කුමක්දැයි පැහැදිලි කිරීමට, අපි වසර බිලියන ගණනක් අතීතයට යමු. මීට වසර බිලියන 13.8 ක් අතීතයේ, විශ්වයේ ආරම්භය සිදුවූ බව පැවැසෙන්නේ, මහා පිපිරුමකිනි. විශ්වයේ ආරම්භයට පෙර, අවකාශය හෝ පදාර්ථය කියා දෙයක් නොතිබූ අතර, මුළු විශ්වයේම පැවති සමස්ත ශක්තිය සහ ස්කන්ධය පරමාණුවකටත් වඩා අතිශය කුඩා, අධික ඝනත්වයකින් හා අප්‍රමාණ උෂ්ණත්වයකින් යුත් තනි ලක්ෂ්‍යයක කැටි වී තිබුණි.

මෙම අතිශය උණුසුම් ලක්ෂ්‍යය ක්ෂණිකව සහ ප්‍රචණ්ඩ ලෙස අතිවිශාල වේගයකින් ප්‍රසාරණය වීම, ‘මහා පිපිරුම’ යැයි තාරකා විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමය. ‘පිපිරුම’ යැයි කීවත්, මෙය බෝම්බයක් පුපුරා යන ආකාරයේ දෙයක් නම් නොවෙයි. මෙහිදී සිදුවූ බව පැවැසෙන්නේ හිස් අවකාශය ක්ෂණිකව ප්‍රසාරණය වීමකි. ඉන්පසු ඒ සියල්ල සැණින් සිසිල් විය. එම සිසිල් වීමත් සමඟම, මුලින් පැවති ශක්තියෙන් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වැනි ක්ෂුද්‍ර අංශු සෑදී, පසුව හයිඩ්‍රජන් සහ හිලියම් වැනි මූලද්‍රව්‍ය නිර්මාණය විය. කාලයත් සමඟ එම වායු එක්රැස් වී ප්‍රථම තරු, මන්දාකිණි, ග්‍රහලෝක බිහිවිය. පෘථිවියේ ජීවය බිහිවීම දක්වා වූ එම ප්‍රසාරණය අදටත් අඛණ්ඩව සිදුවන බව පැවැසෙයි.

විද්‍යාඥයන්ට හමුවුණු, ‘කළු කුහර තාරකාව’ මහා පිපිරුමෙන් වසර මිලියන කිහිපයකට පමණක් පසු, එනම් විශ්වයේ ළමා කාලයේ, නිර්මාණය වූවක් බව විද්‍යාඥයෝ කියති. ‘කළු කුහර තාරකාව’ ට විද්‍යාඥයන් ලබා දී ඇති කේත නාමය MoM-BH*-1 ය. ‘කළු කුහර තාරකාව’ අප සූර්යග්‍රහ මණ්ඩලයේ තරම් විශාල යැයි පැවැසෙයි. අප සෞරග්‍රහ මණ්ඩලයේ තරම් අතිවිශාල ප්‍රමාණයකින් යුතු මෙම වස්තුව, සාමාන්‍ය තාරකාවකට නිපදවිය හැකි උපරිම ශක්තිය මෙන් කෝටි 100 ගුණයක ප්‍රචණ්ඩ ශක්තියක් විශ්වයට මුදා හරින බව විද්‍යාඥයෝ කියති.

මෙම නව සොයාගැනීමේ විශේෂත්වය වටහාගැනීමට අප සූර්යයා ද ඇතුළු සාමාන්‍ය තාරකා ශක්තිය උපදවන ආකාරය තේරුම් ගත යුතුය. සාමාන්‍යයෙන් තාරකාවක් ජීවත් වන්නේ ‘න්‍යෂ්ටික සංලයනය’ නමැති පරමාණුක ක්‍රියාවලිය මගිනි. ‘න්‍යෂ්ටික සංලයනය’ යනු සැහැල්ලු පරමාණුක න්‍යෂ්ටි දෙකක් එකිනෙක ගැටී එකතු වී, වඩා බරින් වැඩි තනි පරමාණුක න්‍යෂ්ටියක් බවට පත්වීමේ ක්‍රියාවලියයි. අප සූර්යයාගේ සහ අනෙකුත් තාරකාවල අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය සහ අතිවිශාල පීඩනය නිසා හයිඩ්‍රජන් පරමාණු එකිනෙකා හා තදින් ගැටෙයි. මෙම ගැටීමේදී හයිඩ්‍රජන් න්‍යෂ්ටි එකතු වී හිලියම් පරමාණු බවට පත්වේ.

මෙහිදී සිදුවන ආශ්චර්යය නම්, සංලයනයෙන් පසු සෑදෙන හිලියම් පරමාණුවේ ස්කන්ධය, එකතු වූ හයිඩ්‍රජන් පරමාණුවල මුළු ස්කන්ධයට වඩා තරමක් අඩු වීමය. අයින්ස්ටයින්ගේ න්‍යායයට අනුව, මෙසේ අතුරුදහන් වන කුඩා ස්කන්ධය අතිවිශාල තාප සහ ආලෝක ශක්තියක් බවට පරිවර්තනය වී එළියට විහිදෙයි. සූර්යයා වසර බිලියන ගණනක් තිස්සේ පෘථිවියට අඛණ්ඩව ආලෝකය සහ තාපය සපයන්නේ මෙම න්‍යෂ්ටික සංලයන ක්‍රියාවලිය නිසාවෙනි.

විද්‍යාඥයන් සොයාගත්, MoM-BH*-1 කළු කුහර තාරකාව ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය තාරකාවන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් හා අපූරු ආකාරයකටය. මෙම වස්තුව මධ්‍යයේ න්‍යෂ්ටික සංලයනය සිදුවන්නේ නැත. ඒ වෙනුවට එහි මධ්‍යයේ පිහිටා ඇත්තේ අපගේ සූර්යයා මෙන් 100,000 ගුණයක ස්කන්ධයකින් යුතු යෝධ කළු කුහරයකි.

මෙම කළු කුහරය වටා අධික ඝනත්වයකින් යුත් අතිවිශාල හයිඩ්‍රජන් වායු වලාකුළක් (ගෑස් ආවරණයක්) පිහිටා ඇත. කළු කුහරයේ ඇති අසමසම ගුරුත්වාකර්ෂණ බලයට හසුවී මෙම හයිඩ්‍රජන් වායූන් අධික වේගයෙන් මධ්‍යයේ ඇති කළු කුහරය දෙසට ඇදී යයි. මෙසේ ද්‍රව්‍යයන් ප්‍රචණ්ඩ ලෙස ඇදී යාමේදී හටගන්නා අධික ඝර්ෂණය සහ චලිත ශක්තිය හේතුවෙන් මෙම මුළු වායු වලාකුළම අතිශය උණුසුම් වී, අදහාගත නොහැකි දීප්තියකින් යුතුව බැබළීමට පටන් ගනී.

මෙම අරුම පුදුම වස්තුවේ, එනම් කළු කුහර තාරකාවේ ආලෝකය පරීක්ෂා කළ විද්‍යාඥයන්ට පෙනී ගියේ එහි හයිඩ්‍රජන් සහ හිලියම් හැර වෙනත් කිසිදු බර මූලද්‍රව්‍යයක් නොමැති බවය. පරිගණක ආකෘති  මගින් තහවුරු වූයේ කළු කුහරයක් වටා පිහිටි මෙවැනි හයිඩ්‍රජන් ආවරණයකට පමණක් මෙවැනි අසාමාන්‍ය රතු පැහැයක් සහ අතිවිශාල දීප්තියක් ලබාදිය හැකි බවය.

නව සොයා ගැනීමට සම්බන්ධ විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය දුන්නේ රොහාන් නායිදු ය. ඔහු සහ කණ්ඩායම කළු කුහර තාරකාව සොයා ගත්තේ ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ආධාරයෙන් ලබා ගත් ඡායාරූප සහ දත්ත පාදක කර ගනිමිනි. කළු කුහර තාරකාව විශ්වයේ දකින්න ලැබෙන්නේ පුංචි රතු තිතක් ලෙසය. විද්‍යාඥයන් පවසන්නේ විශ්වයේ දකින්න ලැබෙන පුංචි රතු තිත්, මෙවැනි කළු කුහර තාරකා විය හැකි බවය.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යනු දැනට මානව ශිෂ්ටාචාරය සතු බලගතුම, සංකීර්ණම සහ දියුණුම අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයයි. ඇමෙරිකාවේ නාසා ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ කේනඩියානු අභ්‍යවකාශ ආයතනය අභ්‍යවකාශ ඒජන්සිවල එකමුතුවෙන් නිර්මාණය වූ මෙම යෝධ දුරේක්ෂයේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ විශ්වය ආරම්භ වූ මුල් කාලයට, එනම් මහා පිපිරුමෙන් පසු ප්‍රථම තාරකා සහ ගැලැක්සි නිර්මාණය වූ අතීතයට එබී බැලීමය.

ආලෝකයට ද ගමන් කිරීමට යම් කාලයක් ගතවේ. එම නිසා විශ්වයේ අතිවිශාල දුරක් ගමන් කරමින් අප වෙත පැමිණෙන ආලෝකය, විශ්වයේ ප්‍රසාරණයත් සමඟ ඇදී ‘අධෝරක්ත’ තරංග බවට පත්වේ. ජේම්ස් වෙබ් දුරේක්ෂය සතුවේ ඇත්තේ මෙලෙස පැමිණෙන ක්ෂුද්‍ර අධෝරක්ත කිරණ පවා ග්‍රහණය කරගත හැකි අසමසම සංවේදී කැමරා පද්ධතියකි.

විද්‍යාඥයන්ට කළු කුහර තාරකාව හමුවූයේ, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යොදා ගනිමින් විශ්වයේ මන්දාකිණිවල ආරම්භය සොයා කළ ‘මිරාජ්’ නමැති විශේෂ නිරීක්ෂණ ව්‍යාපෘතිය අතරතුරේය. සාමාන්‍ය තාරකාවකට හෝ මන්දාකිණියකට කිසිසේත්ම සමාන කළ නොහැකි, අසාමාන්‍ය ලෙස දීප්තිමත් රතු පැහැති වස්තුවක් ලෙස MoM-BH*-1 ප්‍රථම වරට ජේම්ස් වෙබ් නෙතට හසුකර ගැනීමට අභ්‍යවකාශ විද්‍යාඥයන්ට හැකිවුණැයි පැවැසෙයි.

විශ්වයේ පවතින අද්භූතම, විශ්මයජනකම මෙන්ම වඩාත්ම භයානක වස්තුව ලෙස විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘කළු කුහර’ ය. කළු කුහරයක් යනු අතිවිශාල ස්කන්ධයක් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකට තෙරපී තදවීම නිසා සෑදෙන, අතිප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයක් සහිත අභ්‍යවකාශ කලාපයකි. කළු කුහරයක ගුරුත්වාකර්ෂණය කොතරම් ප්‍රබල ද යත්, විශ්වයේ වේගවත්ම දේ වන ආලෝකයට පවා එහි ග්‍රහණයෙන් මිදී ආපසු යාමට නොහැක.

ආලෝකය පවා නැවත පරාවර්තනය වී එළියට නොඑන බැවින් ඒවා අපට පෙනෙන්නේ කළු පැහැති හිස් අවකාශයන් ලෙසිනි. කළු කුහරයේ ආලෝකයට පවා මිදිය නොහැකි සීමාව ‘ඉවෙන්ට් හොරයිසන්’ ලෙස හැඳින් වෙයි. සාමාන්‍යයෙන් විශාල තාරකාවන් සිය ජීවිත කාලය අවසානයේදී පුපුරා යමින් (සුපර්නෝවා පිපිරීම් මගින්) මෙවැනි කළු කුහර නිර්මාණය වේ. ඉන්පසු ඒවා තමන් අවට ඇති වායු, දූවිලි, වෙනත් තාරකා මෙන්ම ආලෝකය පවා ගිලගනිමින් ක්‍රමයෙන් අතිවිශාල ‘සුපර් මැසිව්’ කළු කුහර බවට පත්වේ.

‘කළු කුහර තාරකාව’ සොයා ගැනීම සම්බන්ධයෙන්, විශේෂ ලිපි පෙළක්, මේ වනවිට සුප්‍රසිද්ධ ‘නේචර්’  විද්‍යා සගරාවේ ද පළ වෙයි. විශ්වය නිර්මාණය වී වසර මිලියන කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ, සූර්යයා මෙන් බිලියන ගණනක් විශාල යෝධ කළු කුහර බිහිවූයේ කෙසේද යන්නට පිළිතුරු සෙවීමේ දී විද්‍යාඥයන්ට ‘කළු කුහර තාරකාව’ සොයා ගැනීම ඉතා වැදගත් වනු ඇති බව ද පැවැසෙයි.

 ‘කළු කුහර තාරකාව’ සොයා ගැනීමත් සමග, දැන් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, මුල් කාලීන විශ්වයේ පැවති මෙවැනි ‘කළු කුහර තාරකා’ අතිවිශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් වේගයෙන් ගිලදමමින්, පසුව අද අප දකින යෝධ ‘කළු කුහර’ බවට පරිණාමය වන්න ඇති බවය. ජේම්ස් වෙබ් දුරේක්ෂයේ උපකාරයෙන් ඉදිරියේදී සිදුකිරීමට නියමිත පර්යේෂණ මගින්, විශ්වයේ අලුයම සිදුවූ මෙවැනි තවත් අතිවිශේෂ රහස් රැසක් එළිදරව් කරගැනීමට මානවයාට හැකිවනු නොඅනුමානය.

එන්.ඩී.ටීවී. ඇසුරිනි


RECOMMEND POSTS