සියලු ශාන්තුවරයන්ගේ සැන්දෑව



හැලෝවීන් යනු ඇමෙරිකාව කැනඩාව වැනි බටහිර රටවල ජනප්‍රිය නිවාඩු දිනයකි. සෑම ඔක්තෝබර් 31 වැනිදා ම හැලෝවීන් සැමරෙයි. වැඩිහිටියන්ට පමණක් නොව, පොඩිහිටියන්ට ද වඩාත් ප්‍රිය කරන නිවාඩු දිනය වන්නේ ‍හැලොවීන් ය. හැලොවීන් දිනය මළවුන් සහ භූතාත්ම සමඟ බැඳී පවතී.

හැලොවීන් දා වීදි, නිවාස, කාර්යාල, නගර ආදිය නොයෙක් නොයෙක් බිය ගෙන දෙන දේවල්වලින් සැරැසීම සිදුවෙයි. පොඩ්ඩන් සහ තරුණ තරුණියන් හොල්මන්, වැම්පයරයන්, මායාකාරියන්, පිසාචයන්, යක්ෂයන් ආදී නොයෙක් නොයෙක් අමනුස්ස ආත්ම ලෙස ඇඳුම්වලින් සැරැසෙයි. වෙස් මුහුණු පලඳී. බටහිර පොඩ්ඩන්ට හැලොවීන් යනු ඇත්තටම එය විනෝදජනක දිනයකි.

ඇමෙරිකාවට සහ කැනඩාවට ආවේණික වුවත්, වෙනත් බටහිර රටවල ද එම රටවලට ආවේණික අයුරින් හැලොවීන් සැමරීම සිදුවෙයි. හැලෝවීන් ශ්‍රී ලංකාවේ අපට ආගන්තුකය‍. එසේ වුවත් කොළඹ අවට සහ තදාසන්න ප්‍රදේශවල බටහිර සංස්කෘතියෙන් ආභාසය ලැබූ අතැමුන් ඔක්තෝබර් 31 හැලොවීන් සමරමින් විකට ඇඳුම් සාද පවත්වයි. ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික කාර්යාලවල හැලෝවීන් උත්සව සැමරීම් සිදුවෙයි.

කෙසේ නමුත් පසුගිය ඔක්තෝබර් 31 වැනිදා අප රටේ වෙනවාට වඩා හැලොවීන් ගැන උනන්දුවක් ඇති වුණු බව පෙනුණි. පෙර පාසල් පොඩිත්තන් සහ ගුරුවරියන් මායාකාරියන් ලෙස, හොල්මන් ලෙස, නපුරු මුහුදු කොල්ලකරුවන් ලෙස සැරසී සිටිනු සමාජ මාධ්‍ය හරහා දකින්න ලැබුණි. ප්‍රෞඪ ඉතිහාසයකට සහ සංස්කෘතියකට උරුමකම් කියන ලාංකික‍ අප බටහිර සංස්කෘතික උත්සව සහ බදා ගැනීමට කැමැත්තක් දක්වද්දී, බටහිර වැසියන් 'ආදරයෙන්' සමරන 'වැලන්ටයින්' හෙවත් 'ආදරවන්තයන්ගේ දිනය' ආගන්තුක නොවනවා සේම දිනෙක හැලෝවීන් සැමරුම් ආගන්තුක නොවනු ඇත.

ඇමෙරිකාවේ, හැලොවීන් යනු පුළුල් ව්‍යාපාරයකි. වාණිජකරණයට ලක්වූවකි. හැලොවීන් උදා වෙද්දී වෙළෙඳසැල්වල රස කැවිලි පිරේ. ඒ, හැලොවීන් ප්‍රධාන තේමාව වන 'ට්‍රික් ඕර් ට්‍රීට්' සඳහාය. මායාකාරියන්ගේ, වැම්පයරයන්ගේ, පිසාචයන්ගේ සහ යක්ෂයන්ගේ ඇඳුම් වෙ‍ෙළඳසැල්වල පිරෙයි. හැඩ දැමූ ඉටි පන්දම් දැල්විය හැකි වට්ටක්කා (ජැක් ඕ ලැන්ටන්) සූදානම් වෙයි. නිවාස අලංකාරයට උණු කැවුම් වෙන් බල්බ්වැල් විකිණෙයි. ඇමෙරිකා ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ ද හැලොවීන් උත්සවයක් සැමරීම සම්ප්‍රදායයි. ධවල මන්දිරයට පැමිණෙන පාසල් සිසුන්ට ජනාධිපතිවරයා සහ ආර්යාව රස කැවිලි බෙදා දීම සිදු කරයි. මෙම වසරේ, එනම් පසුගිය 31 වැනිදා ධවල මන්දිරයේ හැලොවීන් උත්සවයක් පැවැත් වූයේ නැත. එක් හේතුවක් කොරෝනා ඊට හරස්වීමය. දෙවැන්න ජනාධිපති ජෝ බයිඩන් හෝ ජිල් බයිඩන් හෝ ඇමෙරිකාවේ නොසිටීමය.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ දිවෙන සංස්කෘතික, ආගමික සහ ඇදහිලි එකිනෙක මිශ්‍රවීමෙන් නිර්මාණය වුණු නිවාඩු දිනයක් ලෙස හැලෝවීන් අර්ථ නිරූපණය කළ හැකිය. හැලෝවීන් ආරම්භය 'කෙල්ට්වරුන් සමඟ බැඳී පවතී. කෙල්ට්වරුන්ගේ නිජබිම යුරෝපයයි. මීට වසර 2,000 කට පෙර, කෙල්ට් සංස්කෘතිය යුරෝපය පුරා ව්‍යාප්ත වී පැවැතිණි. ඔක්තෝබර් 31 වැනිදා ඔවුන්ට සුවිශේෂී දිනයක් විය. කෙල්ට් වැසියන් අස්වනු නෙළා අවසන් වී, අස්වනු මංගල්‍යය පැවැත්වූයේ ඔක්තෝබර් 31 වැනිදාය. මෙම අස්වනු මංගල්‍යය 'සෝඉන්' යන නමින් හැඳින්විය. දැවැන්ත ගිනි මැල දල්වා මළගිය ඇත්තන් වෙනුවෙන් පූජා පැවැත්වීම 'සෝඉන්' උත්සවයේ අරමුණය. කෙල්ට් දින දර්ශනයට අනුව, ගිම්හානය අවසන් වී සීත කාලය උදා වීම ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රියේ සිදුවෙයි. එපමණක් නොව, එය කෙල්ටික් වැසියන්ගේ නව අවුරුදු උදාව ද විය. කෙල්ට් විශ්වාස අනුව,  ඔක්තෝබර් 31 වැනිදා යනු මළවුන්ට නැතිනම් මියගිය ආත්මවලට අපගේ ලෝකයට ඇතුළු වීමට ඉඩ ලැබෙන එකම දිනයයි. එසේ පැමිණෙන ආත්ම තමන්ට කරදර කරාවි යැයි බියෙන් ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රියේ 'සෝඉන්' උත්සවය සැමරෙද්දී, සත්ව බිලි පූජා පවා පැවැත්විණි. ඒ ආරක්ෂාව පතමිනි.

කතෝලික පල්ලිය යුරෝපය පුරා බලය ව්‍යාප්ත කරද්දී, කෙල්ට් ආගමික උත්සව, ආගමික විශ්වාස සහ කෙල්ට්වරුන්ගේ දේව සංකල්ප යටපත් කෙරුණි. 'සෝඉන්' උත්සවය කතෝලික පල්ලිය මැදිහත් වීමෙන් වෙනස්කම් රැසකට භාජන කෙරුණි. 7 වැනි සියවස වෙද්දී, වතිකානය, 'සෝඉන්' උත්සවය පල්ලියේ අනුමැතිය සහ අනුග්‍රහය යටතේ පැවැත්වෙන නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.  නොවැම්බර් පළමු වැනිදා 'ඔල් සේන්ට්ස් ඩේ' එසේත් නැතිනම් 'සියලු ශාන්තුවරයන්ගේ දිනය' ලෙස හැඳින්වීම ආරම්භ විය.

ඒ, ආගමික විශ්වාස වෙනුවෙන් මියගිය භක්තිවන්තයන් සිහි කිරීම සහ ඔවුන්ට ගරු කිරීම අරමුණු කර ගනිමිනි. එදා 'ඕල් සේන්ට් ඩේ' හැඳින්වූයේ 'හැලෝමැස්' යනුවෙනි. 'හැලෝ' යන්නෙහි අර්ථය 'ශුද්ධ වූ' එසේත් නැතිනම් 'ශාන්තුවරයකුගේ තත්ත්වය' යන්නය. ඒ අනුව, 'හැලෝමැස්' යන්නෙහි සරල අර්ථය 'ශාන්තුවරයන් එක්රොක්වීම' යන්නය. 'හැලෝමැස්' දිනයට පෙර දා රාත්‍රිය, එනම් ඔක්තෝබර් 31 වැනිදා, 'ඕල් හැලෝව්ස් ඊව්' (සියලු ශාන්තුවරයන්ගේ සැන්දෑව) යනුවෙන් නම් කෙරුණි. අවසානයේ දී එය 'හැලොවීන්' ලෙස වෙනස් විය.

'හැලොවීන්' ඇමෙරිකාවට පැමිණියේ අයර්ලන්ත සංක්‍රමණිකයන් ද සමඟය. ඒ, 1840 දශකයේය. අයර්ලන්ත සංක්‍රමණිකයන් 'හැලොවීන්' දිනය සමරමින් විනෝද වීමට යොදා ගත් එක් ක්‍රීඩාවක් ලෙස 'බොබින් ෆෝ ඇපල්ස්' සැලකෙයි. මෙය අදත් හැලොවීන් දින සාදවල දකින්න ලැබෙන ජනප්‍රිය ක්‍රීඩාවකි. ලොකු වතුර බඳුනකට ඇපල' ගෙඩි දැමෙන අතර, දෑත් පිටුපසට කර කටින් මෙම ඇපල් එකතු කිරීම කළ යුතු වෙයි. අතීතයේ තරුණ තරුණියන් අතරේ මෙය අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් විය. මෙම ක්‍රීඩාව හරහා සහකරුවන්, සහකාරියන් සොයා ගැනීම පවා අතීතයේ සිදුවිය.

කෙල්ට්වරුන්, අපේ ලෝකයට පැමිණෙනවා යැයි විශ්වාස කළ ආත්ම වෙනුවෙන් පැවැත් වූ බිලි පූජා කතෝලික පල්ලිය මැදිහත් වී වෙනස් කළේය. බිලි පූජා වෙනුවට, උත්සවය දා පැමිණෙන අමුත්තන් වෙනුවෙන් ආහාර ලබා දීම ආරම්භ කෙරුණි. 5 වැනි සහ 15 වැනි සියවස අතර කාලයේදී තමන්ට ආහාර දුන්නොත් මිය ගිය අය වෙනුවෙන් යාච්ඤා කරනවා යැයි පවසමින් යාචකයෝ නිවෙස්වලට යමින් පවසන්නට වූහ.

යාචකයන්, මැද ඉවත් කළ ටර්නිප් (රාබු වර්ගයක්) ගෙඩියක ඉටිපන්දමක් පත්තු කරගෙන රැගෙන යන්නට වූහ. එසේ ඉටිපන්දමක් දැල්වීමෙන් අදහස් කෙරුණේ ශුද්ධගිනිස්ථානයේ සිරවී සිටින භූතාත්ම ආත්ම පිටවී යන ලෙසටය. 1800 දශකයේ උතුරු ඇමරිකාවේ, වට්ටක්කා බහුලව තිබුණු බැවින් සහ වට්ටක්කා ගෙඩියේ මැද ඉවත් කර එය කැටයම් කිරීම පහසු නිසාත් ටර්නිප් අල වෙනුවට වට්ටක්කා භාවිතයට ගැනුණි. 'ජැක් ඕ ලැන්ටර්න්' යන හැඳින්වෙන ඉටිපන්දම් දල්වා ආලෝකමත් කළ හැලොවීන් සැරසිලි ඒ අනුව කරළියට ආවේය.

'හැලොවීන්' දිනයේ වැදගත්ම චාරිත්‍රය ලෙස සැලකෙන්නේ තව කෙනකු බියට පත් කිරීමය. අතීතයේ ඇමෙරිකාවේ 'හැලොවීන්' ආරම්භ වූ අවදියේ දී, කොලු ගැටව් සහ තරුණ තරුණියන් අසල්වැසියන් බිය ගන්වමින් නොයෙක් විදියේ 'ඇස් රතුවන විහිළු' වැඩ කරන්න විය. එම 'විහිළු' පසුව කඩාකප්පල්කාරී ක්‍රියා සහ සොරකම් බවට ද පත්විය. කොලු ගැටව් සහ තරුණයන් බිය උපදවන ආකාරයේ වෙස් මුහුණුවලින් සහ විකට ඇඳුම්වලින් සැරසී සිටියේ ඔවුනගේ අනන්‍යතාව වසං කරගනිමිනි. 1930 දශකයේ හැලොවීන් බිහිසුණු ස්වරූපයක් ගත්තේය.

හැලොවීන් දිනය බියෙන් සහ සැකයෙන් පිරුණු දිනයක් බවට පරිවර්තනය වී තිබුණි. නිවසින් නිවසට රස කැවිලි ඉල්ලමින් කරන 'ට්‍රික් ඕර් ට්‍රීට්' සෙල්ලම් ලෙල්ලම් වී තිබුණි. 'රස කැවිලි දීපන්, නැතිනම් නුඹේ නිවස හෝ වෙ‍ෙළඳසැල වනසනවා' යනුවෙන් තර්ජන එල්ල වන්න විය. ඒ අනුව, 'ට්‍රික් ඕර් ට්‍රීට්' වෙනුවෙන් ටොෆි චොකලට් ඇතුළු පැණි රස දීම ඇරැඹිණි. අද මෙය ප්‍රධානතම හැලොවීන් චාරිත්‍රය බවට පත් වී අවසන්ය. පැණිරස දීම ආරම්භ වූයේ කඩාකප්පල්කාරී ක්‍රියා වළක්වා ගැනීමටය.

'හිස්ට්‍රි ඔෆ් හැලොවීන්' ඇසුරිනි


RECOMMEND POSTS