එන්නතේ බලය



'කොවිඩ් 19' වසංගතය, ලොවට වසංගතයක් වීමට පටන් ගත්තේ 2019 වසර අවසානයේය. කෙසේ නමුත් 2020 වසර අවසන් වෙද්දී, නොසිතූ විරූ ලෙස 'හදිසි භාවිතයට සුදුසුයි' යනුවෙන් නිර්දේශ කළ 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් කරළියට පැමිණියේය. වයිරසයකට එරෙහිව එන්නතක් නිපදවීම පහසු කටයුත්තක් නොවෙයි. එය වසර ගණනාවක පර්යේෂණ සහ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයකි. ඒත්, 'කොවිඩ් 19' වසංගතය හමුවේ බලා සිටිය නොහැකිය. ජීවිත බේරා ගැනීම කළ යුතුය ඒ අනුව එන්නත් ලබා දීම කඩිමුඩියේ ඇරැඹිණි.

'කොවිඩ් 19' සඳහා අනුමත කරමින් අපට ලැබෙන කිසිදු එන්නතකින් සියයට 100 ක් 'කොවිඩ් 19' ආසාදනය වීම වැළැක්වීම කළ නොහැක. එසේ වුවත්, වයිරසය ආසාදනය වී මරණයට පත් වීම, දීර්ඝ කාලීන රෝගාබාධවලට ලක්වීම එන්නත් ලබා ගැනීමෙන් අවම වෙයි. නමුත් දැන් ගැටලුවක් ඇත. ඒ, ලබා දෙන එන්නත කොතරම් කාලයකට වලංගු ද එසේත් නැතිනම් එන්නතින් සිරුරට ලැබෙන ප්‍රතිශක්තිය කොතරම් කාලයක් සිරුරේ රැඳී පවතිනවා ද යන්නය.

මාත්‍රා දෙකකින් සමන්විත 'ෆයිසර්', 'මොඩර්නා' සහ තනි මාත්‍රාවේ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' ඇමෙරිකන් ඖෂධ සමාගම් නිපදවන ඇමෙරිකන් එන්නත්ය. අද ලොව බහුලව භාවිතයට ගැනෙන්නේත් අවුරුදු 5 සිට ඕනෑම වයස ඕනෑම අයකුට ආරක්ෂක බව පැවැසෙන්නේත් 'ෆයිසර්' එන්නතය. මේ වනවිට 'ෆයිසර්', 'මොඩර්නා' සහ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත් මගින් නිර්මාණය වන ප්‍රතිශක්තිය කෙතරම් කල් පවතිනවා ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් පර්යේෂණ සිදු කර ඇති අතර එම වාර්තා මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

එම අධ්‍යයන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ මේ වනවිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝ පිරිසක් අතර එන්නත් කාර්යක්ෂමතාව 35% සහ 85% අතර පහත වැටී ඇති බව ය. ඇමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 8,00,000කට ආසන්න පිරිසක් යොදා ගනිමින් අධ්‍යයන සිදු කර තිබේ. මාර්තු මාසයේ එන්නත් ලබා ගත් මෙම පිරිස ඉතා සාර්ථකව 'කොවිඩ් 19' වයිරසයට මුහුණ දුන් අතර ඔවුන්ගේ ප්‍රතිශක්තිය ද ඉතා ඉහළ තත්ත්වයක පැවැතිණි.

කෙසේ නමුත් දැන් මාස 6 කට වැඩි කාලයක් ගත වෙද්දී, 'ඩෙල්ටා' සහ 'ඩෙල්ටා ප්ලස්' වැනි විකෘති කොරෝනා ප්‍රභේද හමුවේ මෙම ප්‍රතිශක්තිය හීන වී ගොසිණි. 'මොඩර්නා' එන්නතේ මාත්‍රා දෙකක ඵලදායිතාව 89% සිට 58% දක්වා ද 'ෆයිසර්' එන්නතේ මාත්‍රා දෙකක ඵලදායිතාව 87% සිට 45% දක්වා ද 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නතේ තනි මාත්‍රාවේ පමණක් ඵලදායිතාව 86% සිට 13% දක්වා ද මාස 6 ක කාලය තුළ පහත වැටී ඇති බව තහවුරු විය.  සැන් ෆ්‍රැන්සිස්කෝ පුරවැසි වෛද්‍ය මධ්‍යස්ථානය සහ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ විද්‍යාඥයන්ගේ මැදිහත් වීමෙන් මෙම අධ්‍යයනය සිදුවිය.

'බූස්ටර්' එසේ නැතිනම් ප්‍රවර්ධක එන්නත් මාත්‍රා ලබා දීම කෙරහි අවධානයක් යොමු වූයේ මේ හේතුව නිසාය. පළමුවෙන්ම වැඩිහිටි ප්‍රජාවටත්, ඉන්පසු එන්නත් ලබා ගත් සැමටත් 'බූස්ටර්' එන්නත් ලබා දීමට යොමු වු‍ණේ ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය එරට වැසියන්ට ලබා දෙන්නේ 'ෆයිසර්' එන්නතය. ඉන්පසු ඇමෙරිකාව, කැනඩාව සහ සෙසු බටහිර රටවල් ද තෙවැනි මාත්‍රාවක් කෙරෙහි යොමු විය.

අද අප ලෝකයට දෙවැනි නොවෙමින් රජය සහ සෞඛ්‍ය බලධාරීන් ද තෙවැනි මාත්‍රාව ලබා දීම ආරම්භ කර ඇත. එය අදියර කීපයක් යටතේ සිදුවෙයි. තෙවැනි මාත්‍රාව ලෙස ලබා දීම සිදුවන්නේ 'ෆයිසර්' බව අප සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. මාස 6 ක කාලයකින් අනතුරුව, චීනයේ 'සයිනෝෆාම්' පළමු සහ දෙවැනි එන්නත් ලබා ගත් අයට බූස්ටරය ලෙස ලැබෙන්නේ 'ෆයිසර්' ය. 'ෆයිසර්' එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගත් අයට ද ලැබෙන්නේ 'ෆයිසර්' ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් අනුමැතිය දී නැත. ඒ, තෙවැනි එන්නත් මාත්‍රාවක් අවශ්‍ය නොවන නිසා නම් නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ තවමත් රටවල් බොහොමයක පළමු සහ දෙවැනි එන්නත් ලබා නොගත් අය සිටින බවත්, දෙවැනි මාත්‍රාවකට යෑමට පෙර ලොව සැවොම එකමුතු වී එම රටවල වැසියන්ට පළමු සහ දෙවැනි එන්නත් ලබා දී සම්පූර්ණ කළ යුතු බවය.

දිවි රැකගන්න උදව් කරන්නේ අප සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියයි. ආසාදනවලින්, රෝගවලින් සහ අසාත්මිකතාවලින් අප ආරක්ෂා කරන ආරක්ෂක පද්ධතිය ලෙස සරලව මෙය හැඳින්විය හැකිය. මෙය මුළු සිරුරම ආවරණය වන ආකාරයේ ආරක්ෂක පද්ධතියකි. ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂක හමුදාවක් යැයි සිතුවොත්, එම හමුදාව ආරක්ෂක පද්ධති තුනකින් සමන්විතය. මෙම හමුදාව රෝගකාරකවලට (වයිරස, බැක්ටීරියා සහ වෙනත් අහිතකර ක්ෂුද්‍රජීවීන්) සිරුරට ඇතුළුවීමට ඉඩ ලබා දෙන්නේ නැත.

පළමු ආරක්ෂක පද්ධතියට අයත් වන්නේ අපේ සම සහ ශ්ලේෂ්මල ශ්‍රාවයයි. සම එක්තරා විදියක ආරක්ෂක ආවරණයකි. විෂබීජවලට සිරුරට ඇතුළු වීමට ඉඩ නොදෙයි. සම තුවාල වූ විට අප ඒ තුවාලය හොඳින් පිරිසුදු කර තබා ගනිමින් එය ඉක්මනින් සුව කර ගත යුතු වන්නේ මේ නිසාය. ශ්ලේෂ්මල ශ්‍රාවය යනු සෙම් සොටුය. හුස්ම ගනිද්දී නාසය හරහා ඇතුළුවන විෂබීජ සිරුරට ඇතුළුවීම වළක්වන ආරක්ෂක මුර කපොල්ල ලෙස ශ්ලේෂ්මල ශ්‍රාවය හඳුන්වා දිය හැකිය.

පළමු ආරක්ෂක පද්ධතිය හරහා රෝගකාරකයක් සිරුරට ඇතුළු වුවහොත්, ඊට මුහුණ දීමට කෙනකු සීරුවෙන් සිටී. ඒ සිරුරේ ප්‍රතිශක්ති සෛලය. සුදු රුධිරාණු යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ආරක්ෂකයාය. රෝගකාරකය අඩපණ කිරීමට මෙම ආරක්ෂක පද්ධතියට නොහැකි වූ විට තෙවැනි සහ අවසන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙයි. මෙම පද්ධතිය නිර්මාණය වී ඇත්තේ විශේෂ ප්‍රතිශක්ති සෛලවලිනි. මෙම සෛල ක්‍රියාත්මක වන්නේ රෝගකාරකය සහ එහි දුර්වලතා කුමක්දැයි පැහැදිලිව හඳුනා ගනිමින් එය අඩපණ කිරීමටය. මෙම අවසන් පද්ධතිය පරාජය කිරීමට රෝගකාරකය සමත් වුවහොත්, එය සිරුර මුළුමනින්ම ආක්‍රමණය කරනු ඇත.

අප සිරුරේ ප්‍රතිශක්ති සෛලවල ඇති වැදගත්ම දේ වන්නේ ඒවායේ මතකයයි. සිරුරට ඇතුළු වන රෝගකාරක මොනවාදැයි සහ ඒවා අඩපණ කළ යුත්තේ කෙසේදැයි යන්න මතකය සෛලවල රැඳී පවතී. බොහෝ අවස්ථාවලදී එකම වයිරසය දෙවරක් ආසාදනය නොවන්නේ මේ නිසාය. අප ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමෙන් සිදු කරන්නේ මෙම ආරක්ෂක සෛලවලට එම 'මතකය' කෘත්‍රිමව ලබා දීමකි. එවිට එම එන්නත අදාල රෝගකාරකය සිරුරට ඇතුළු වූ විට, ප්‍රතිශක්ති සෛලවල වහා ක්‍රියාත්මක වී වයිරසය විනාශ කරයි. නැතිනම් වයිරසයෙන් සිදුවීමට 'නියමිත' හානිය අවම කරයි.

එන්නත්කරණය ඉතාමත් වැදගත්ය. පෞද්ගලිකව එන්නත ලබා ගන්නා කෙනා, එම එන්නතට අදාල රෝගකාරකයෙන් ආරක්ෂා වෙයි. එම ආරක්ෂාව පොදුවේ සැමට බලපායි. අවසානයේ පොදුවේ සියලු දෙනාට එම රෝගකාරකයට එරෙහිව ප්‍රතිශක්තියක් නිර්මාණය වෙයි. එසේ වෙද්දී රෝගකාරකය සෙමින් දුර්වල වී අඩපණ වී නැත්තටම නැතිවී යන අවස්ථා ද ඇත. 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ද අප කළ යුතු වන්නේ මෙයයි. 'කොවිඩ් 19' සම්බන්ධයෙන් එන්නත්කරණය වැදගත් වන්නේ ද මෙයයි. 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නැයි බල කිරීමක් කළ නොහැකි නමුත්, රටවල් බොහොමයක් නව නීති සකසා ඇත්තේ, එන්නත ලබා ගැනීමට ජනතාව පොළොඹවමිනි. පොදු ස්ථානවලට යෑමේදී අවන්හල් තුළට ගොස් ආහාර ගැනීමේදී සහ රාජකාරියට යෑමේදී එන්නත් ලබාගෙන තිබීම අනිවාර්ය කර ඇත.

එන්නත් ලබා ගැනීමට අකමැති අය සිටින්නේ නම්, ඔවුන්ට රැපිඩ් පරීක්ෂණයක් හෝ පීසීආර් පරීක්ෂණයක් කර එහි ප්‍රතිඵල පෙන්වීම කළ යුතුය. විදෙස් සංචාරවලදී සිදුවන්නේ නියමිත එන්නත් මාත්‍රා ලබා සිටියත්, ගුවන් යානයට ගොඩවෙද්දී කොරෝනා පරීක්ෂණයකින් ඔබ 'නෙගටිව්' විය යුතුය. ගෝලීය වසංගත තත්ත්වයකදී ජීවිත ආරක්ෂා කර ගැනීමට නම් මෙවැනි ආරක්ෂක පියවර ගැනීම කළ යුතුය.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය නිවේදනය කළේ සේවක සේවිකායන් 100 ට වැඩි සෑම පෞද්ගලික සේවා ආයතනයකම සියලු දෙනා එන්නත්කරණයට ලක් විය යුතු බවය. රජයේ සේවක සේවිකාවන්ට එන්නත් ලබා නොගෙන සේවයට පැමිණීම කළ නොහැකිය. එවිට සේවය හැර යෑමට සිදුවෙයි. නැතිනම් වැටුප් ලබා දෙන්නේ නැත. විරෝධතා මැද කැනඩාවේ සහ ප්‍රංශයේත් වෙනත් බටහිර රටවලත් මෙවැනි නීති ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. නැතිනම් දැනටමත් ඒවා ක්‍රියාත්මක වෙයි.

එන්නත් බල බිඳී යෑමට ප්‍රධාතම හේතුව, 'කොවිඩ් 19' විකෘති ප්‍රභේද එන්නත්වලට ප්‍රතිරෝධයක් දැක්වීමය. 'ෆයිසර්' 'මොඩර්නා' ආදී බොහෝ 'කොවිඩ් 19' එන්නත් නිපදවීම සිදු කර ඇත්තේ 'කොවිඩ් 19' වයිරසයේ ආරම්භයත් සමඟය. 'කොවිඩ් 19' වයිරසය විකෘතිකරණයට ලක් වී 'යවත්කාලීන' වෙද්දී, ප්‍රතිශක්තිකරණ එන්නත් ද එසේ විය යුතුය. එය පහසු කටයුත්තක් නොවෙයි. වයිරසයේ ස්වරූපය අප අවබෝධ කර ගත යුතුය. වයිරසයට ඕනෑ ජීවත් වීමටය.

යම් ආසාදිතයකු වයිරසය සමඟ මියගියහොත් වයිරසය අසාර්ථකය. වයිරසය සැමවිටම උත්සාහ ගන්නේ තමන්ගේ පැවැත්මත් රැක ගෙන තමන් ආසාදනය වන පුද්ගලයා ද පණ පිටින් තබා ගැනීමටය. වයිරසය ද දිනෙන් දින වෙනස් වී එන්නත් අනුව හැඩ ගැසෙයි. දිනෙක, 'කොවිඩ් 19' වයිරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් බවට පත් වී සැර බාල වනු ඇත. ඒත් එය අද හෙට සිදුවන්නක් නම් නොවෙයි.

(සී.එන්.එන්. ඇසුරිනි)


RECOMMEND POSTS