අවුරුදු 3-17 දරුවන්ට ’සයිනෝෆාම්’



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ, අවුරුදු 3 ත් 17 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට චීනයේ නිෂ්පාදිත 'සයිනෝෆාම්' එන්නත ලබා දීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

එමිරේට්ස් කොවිඩ් 19 සායනික කළමනාකරණ කමිටුවේ සභාපතිනී වෛද්‍ය නවාල් අල් කාබිල් පවසා ඇත්තේ අවුරුදු 3 ත් 17 ත් වයස් කාණ්ඩයේ දරුවන්ගේ එන්නත්කරණ කටයුතු ඊයේ (9) සිට ආරම්භ කළ බවය.

අවුරුදු 3 ත් 17 ත් දරුවන්ට මෙසේ 'සයිනෝෆාම්' එන්නත් ලබා දෙන්නේ, ජූනි මාසයේ සිට මේ දක්වා, අබුඩාබි අගනුවර එම වයස් කාණ්ඩයේ දරුවන් 900 දෙනකු තෝරා ගෙන ඔවුන් සායනික පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුවය.

මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ කළ එම සායනික පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ, 'සයිනෝෆාම්' එන්නතෙන් දරුවන් කිසිවකුට කිසිදු අතුරු ආබාධයක් නොමැති බව සහ සංකූලතා හට නොගන්නා බව යැයි එමිරේට්ස් එන්නත්කරණ කටයුතු සම්බන්ධ ප්‍රධාන වෛද්‍ය පර්යේෂකවරයා මෙන්ම එන්නත් අධ්‍යයන කමිටුවේ ප්‍රධානියා ද වන වෛද්‍ය වලීඩ් සහීර් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

එම දරුවන් 900 දෙනා සායනික පරීක්ෂණ සඳහා යොදා ගත්තේ මාපියන් හෝ භාරකරුවන්ගේ අවසරය පරිදි යැයි ද වෛද්‍ය වලීඩ් සහීර් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

එමිරේට්ස් කොවිඩ් 19 සායනික කළමනාකරණ කමිටුවේ සභාපතිනී වෛද්‍ය නවාල් අල් කාබිල් සහ එන්නත්කරණ කටයුතු සම්බන්ධ ප්‍රධාන වෛද්‍ය පර්යේෂකවරයා මෙන්ම එන්නත් අධ්‍යයන කමිටුවේ ප්‍රධානී වෛද්‍ය වලීඩ් සහීර්.

සිදු කළ එම සායනික පර්යේෂණවලදී අනාවරණය වී ඇත්තේ 'සයිනෝෆාම්' එන්නත මගින් දරුවන් තුළ සාර්ථක ප්‍රතිශක්තියක් නිර්මාණය වූ බව යැයි ද එමිරේට්ස් එන්නත්කරණ කටයුතු සම්බන්ධ ප්‍රධාන වෛද්‍ය පර්යේෂකවරයා මෙන්ම එන්නත් අධ්‍යයන කමිටුවේ ප්‍රධානියා අවධාරණය කර තිබේ.

එම සායනික පර්යේෂණ සම්බන්ධ සියලු වාර්තා, එමිරේට්ස් සෞඛ්‍ය අමත්‍යාංශය චීනයටත්, ලෝක සෞඛ්‍ය සංවිධානයටත් යොමු කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයන මේ වනවිටත් ආරම්භ කර තිබේ.
ඊයේ (9) සිට එමිරේට්ස් දරුවන්ට එන්නත් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ, එමිරේට්ස් ළමා රෝග වෛද්‍යවරුන්ගේ සංසදයේ අනුමැතිය යටතේය. ඒ අනුව, එන්නත ලබා ගැනීමට කැමැති අවුරුදු 3 ත් 17 ත් අතර දරුවන්ට එන්නත ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරුණි.

මීට අමතරව, එමිරේට්ස් සෞඛ්‍ය බලධාරීන් කළ නිර්දේශවලට අනුව අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත ලබා දීම ආරම්භ වී ඇත. 'ෆයිසර්' එන්නත අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දීම ආරම්භ වූයේ මීට මාස කීපයකට පෙර සිටය.

මේ වනවිට මෙතෙක් නිපදවා ඇති සියලුම 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් එමිරේට්ස් රාජ්‍යයේ ඇති අතර, වැඩිහිටි ඕනෑ අයකුට කැමැති ඕනෑම එන්නතක් ලබා ගැනීමට එමිරේට්ස් රජය අවස්ථාව ලබා දී ඇත. රජයේ අනුග්‍රහයෙන් නොමිලේ එන්නත් වැඩසටහන් පැවැත්වෙන අතර, තමන්ට කැමැති එන්නතක් ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ පෞද්ගලික මට්ටමින් මුදල් ගෙවීමක් කරමිනි.

චීනයේ 'සයිනෝෆාම්' එන්නත හදිසි භාවිතයට සුදුසු බවත්, එයින් කිසිදු අතුරු ආබාධයක් නැති බවත් සනාථ කරමින්, 'සයිනෝෆාම්' එන්නත සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කළ පළමු රට වන්නේ ද එමිරේට්ස් රාජ්‍යයයි. එමිරේට්ස් සෞඛය බලධාරීන්, චීන සෞඛ්‍ය බලධාරීන් ද සමඟ එක් වී මෙම අධ්‍යයනය කළේ 'සයිනෝෆාම්' එන්නත චීන වැසියන්ට ලබා දීමට පෙරය.

එමිරේට්ස් සෞඛ්‍ය අංශ එරට වැසියන්ට 'සයිනෝෆාම්' ලබා දීම ආරම්භ කළේ එම එන්නත තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් අවසන් වීමෙන් පසුවය. මෙම තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් සඳහා 31,000 ක් ඊට සම්බන්ධ කර ගත් බව පැවැසෙයි. කොරෝනා ආසාදනය වුවත්, සංකූලතා අවම කරමින් ජීවිත බේරා ගැනීමට හැකි එන්නතක් ලෙස 'සයිනෝෆාම්' හඳුනා ගැනීමට එමිරේට්ස් වෛද්‍ය පර්යේෂකයන්ට ඒ අනුව හැකිවිය.

'සයිනෝෆාම්' එන්නත සාර්ථක බව පවසමින්, චීන වැසියන්ටත් කලින් එය පළමුවෙන් ලැබුණේ ද එමිරේට්ස් වැසියන්ටය. සෙසු ප්‍රතිශක්තිකරණ එන්නත් එමිරේට්ස් වැසියන්ට ලැබීම ආරම්භ වූයේ ඉන්පසුවය. 'සයිනෝෆාම්' එන්නතේ සාර්ථකත්වය එමිරේට්ස් රාජ්‍යය ලොවට කියද්දී, චීනය එරට වැසියන්ට මහා පරිමාණයෙන් එන්නත ලබා දීම ආරම්භ කළේය. ඒ වනතුරු 'සයිනෝෆාම්' එන්නත චීන සෞඛ්‍ය බලධාරීන් ලබා දී තිබුණේ හමුදා සාමාජිකයන්ට සහ තෝරා ගත් සිවිල් වැසියන්ට පමණි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, 'සයිනෝෆාම්' එන්නතේ සාර්ථකත්වය පිළිබඳ ලබා දුන් වාර්තා අනුව, ලොව රටවල් බොහොමයක් 'සයිනෝෆාම්' එන්නත චීනයෙන් ඉල්ලා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පවා ඊට හිමිවීමට පෙරය. චීනය, ඔවුන්ට හිතවත් රටවල් රැසකට එන්නත් ප්‍රදානය කිරීමට පවා කටයුතු කළේය. 'සයිනෝෆාම්' එන්නත සම්බන්ධයෙන් එමිරේට්ස් රාජ්‍යයට අමතරව, පුළුල් ලෙස අධ්‍යයනයක් කළ දෙවැනි රට ශ්‍රී ලංකාව යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ වනවිට 'සයිනෝෆාම්' එන්නත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මහා පරිමාණයෙන් නිපදවීමට ද නියමිතය. ඒ චීන රජය සහ එමිරේටේස් සෞඛ්‍ය අමත්‍යාංශය අතර ඇතිකරගත් එකඟතාවකට අනුවය. ලෝක සෞඛ්‍ය සංවිධානය, ඔවුන්ගේ 'කොවැක්ස්' වැඩසටහන හරහා දිළිඳු රටවලට ද 'සයිනෝෆාම්' බෙදා දීමට කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

'සයිනෝෆාම්' එන්නත සම්බන්ධයෙන් එමිරේට්ස් වෛද්‍ය පර්යේෂකයන් දිගටම පර්යේෂණ සිදු කරන අතර, ඔවුන් පසුගිය දා පෙන්වා දුන්නේ, 'කොවිඩ් 19' ඩෙල්ටා විකෘතියට එරෙහිව 'සයිනෝෆාම්' එන්නත සාර්ථක නමුත්, වඩාත් හොඳ ආරක්ෂාවක් ලබා දී ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට නම්, 'සයිනෝෆාම්' පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගැනීමෙන් පසු 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' හෝ 'ෆයිසර්' හෝ එක් මාත්‍රාවක් බූස්ටරයක් එසේත් නැතිනම් ප්‍රවර්ධකයක් ලෙස ලබා දීම කළ යුතු බවය.

(අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS