ක්‍රිප්ටෝ කරන්සි ප්‍රතිපත්ති වෙනස් නෑ



ක්‍රිප්ටෝ කරන්සි (Crypto Currency) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නැතැයි මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

අතථ්‍ය මුදල් (Virtual Currencies) පොදුවේ ක්‍රිප්ටෝ කරන්සි (Crypto Currency) නමින් ද හඳුන්වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් ඒකකය පිළිනොගනී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉකුත් අප්‍රේල් මස 9 වැනිදා මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් නිවේදනයක් ද නිකුත් කරන ලදි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීය.

“ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධයෙන් වන අපේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ. ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය රුපියල. ඒක තමයි පාවිච්චි කරන්න ඕනේ. රුපියල භාවිත කිරීම මහ බැංකුව විදියට අපි අනුමත කරලා තියෙන්නේ. එතැනින් එහාට අපි වෙන කිසිම දෙයක් අනුමත කරලා නැහැ.”

අතථ්‍ය මුදල් (Virtual Currencies) හෙවත් ක්‍රිප්ටෝ කරන්සි (Crypto Currency) සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර ඇති බව මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය පැවැසුවා ය.

මේවායේ ඇති අනතුරුදායක බව සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර ඇති බවත් මෙවැනි ගනුදෙනුවල නිරත වන පුද්ගලයන් සිටින්නේ නම්, ඒවායේ අවදානම සහ වගකීම බාරගත යුත්තේ එම පුද්ගලයන් බවත් ඇය වැඩිදුරටත් පැවැසුවා ය.


RECOMMEND POSTS