හන්තානේ කුරුලු උයන



මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඉදිකළ මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි.

එම උද්‍යානය මහජනයා වෙනුවෙන් විවෘත වන්නේ හෙට (23) සිටය.

හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබද අක්කර 27ක භූමියක මෙම විදේශීය පක්ෂී උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය පිහිටා ඇති අතර, එය විදේශීය පක්ෂී වර්ග සියයකට අධික ප්‍රමාණයකින් යුක්ත බව සඳහන් වේ.

මෙම පක්ෂි උද්‍යානයේ විශාල කූඩු තුල විදේශීය රටවලට ආවේණික හා සංචාරක පක්ෂීන්ගෙන් රඳවා ඇති අතර, ආබාධවලට ලක්වන පක්ෂීන්ට ප්‍රතිකාර ලබාදීමේ ඒකකයකින් ද මෙය සමන්විතය.

මෙය ස්ථාපිත කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 49කි.

මෙහි සභාපති බව එහි සභාපති නිශාන්ත කෝට්ටේගොඩ මහතා පැවසුවේ, මෙහි විදේශීය පක්ෂීන් මෙරටදී අභිජනනය කිරීමේ පහසුකම්, සත්ව විද්‍යාව හදාරන සිසුන් සඳහා අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක්, පක්ෂි අනාථාගාරයක්, පක්ෂී උපස්ථාන හා නිරෝධායන ඒකකයක් ආදිය ද ස්ථාපිත කර ඇති බවයි.

ශ්‍රී ලංකාවට ආවේණික නොවන පක්ෂීන් පිළිබඳව වසර 40ක කාලයක් පුරා සිදු කළ අධ්‍යයනයක් පදනම් කරගෙන මෙම උද්‍යානය ස්ථාපිත කර ඇත.

කෝට්ටේගොඩ මහතා පැවසුවේ සිංගප්පූරුවේ ජුරෝන් බ්ර්ඩ් කුරුලු උයන ආදර්ශයට ගෙන මෙම ජාත්‍යන්තර කුරුලු උයන නිර්මාණය කළ බවයි.

මෙය නරඹන්නන්ට විවෘත කිරීමෙන් පසු ජනතාවට ලොව පුරා වෙසෙන විවිධ පක්‍ෂීන් දැකගැනීමට මෙන්ම, එම පක්‍ෂීන් සුරතල් කිරීම වැනි අත්දැකීම් රැසක් ලබාගැනීමට හැකිවන බව ද ඔහු කීවේය. 

වැඩිහිටියන්ට රුපියල් 600ක්, දරුවන්ට රුපියල් 400ක් සහ පාසල් අධ්‍යාපන චාරිකා පැමිණෙන දරුවන්ට රුපියල් 200ක් වැනි මිල ගණන් යටතේ ප්‍රවේශපත් ලබාගෙන මෙය නැරඹිය හැක.

සතුන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන සිසුන්ට තම පර්යේෂණ නොමිලයේ සිදුකිරීමේ පහසුකම් මෙහිදී සැලසෙන බව ද ඔහු කීය.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS