ජාතික රණවිරු සැමරුම



තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 12ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසලදී සෞඛ්‍යාරක්‍ෂිත, චාම් හා අභිමානවත් අයුරින් අද (19) පස්වරුවේ පැවැත්විණි.

ඒ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස යුද ජයග්‍රහණයට උරදුන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ එදා ජනාධිපතිවරයා ලෙස යුද්ධයට නායකත්වය දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පෙරගමන් රථ ද පෙරටු කරගනිමින් උත්සව භූමියට පැමිණයේ තමන් යුද හමුදා සේවයේදී ලබාගත් වීර පදක්කම් ද සිය කමීසයේ පැළඳගෙනවීම විශේෂත්වයක් විය.

රටට සාමය උදා කරදීම වෙනුවෙන් යුද්ධයේදී දිවිදුන් හා තුවාල ලැබූ රණවිරුවන්ට උපහාර පිදීමේ අරමුණින් පැවැත්වුණු මෙම අභිමානවත් සැමරුමට විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියේය.

ත්‍රස්තවාදය අවසන් කරමින් යුද ජයග්‍රහණයට වසර 12 ක් සම්පූර්ණ වන අතර යුද්ධයේ දී දිවිදුන් සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන් සැමරීමේ ජාතික රණවිරු සැමරුම් දිනය අද (19) ට යෙදී තිබිණි.

දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්රවස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයේදී යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවෝ 28,619 දෙනෙක් මව්බිමේ නිදහස පතා දිවි පිදූහ.

ආබාධිත වූ රණවිරුවන් සංඛ්‍යාව විසිහත් දහසකට අධිකය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවත් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව ඔවුන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පළ කිරීම මෙම අභිමානවත් රණවිරු සැමරුමේදී සිදුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උත්සව භූමියට සම්ප්‍රාප්තවීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර පළමුව ජාතික ගීය ගායනා කිරීම සිදුවිය.

අනතුරුව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක නිරත වූහ. අනතුරුව රණවිරු ස්මාරකය සිවුකොන මුර සෙබළුන් ස්ථානගත කිරීම සිදුවිය.
ශ්‍රී ලංකා රණවිරු අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් පිළිගැනීමේ කතාව පැවැත්වූවාය.

අනතුරුව යුද හමුදා උත්තමාචාර මැද ශ්‍රී ලංකා ගුවන් හමුදාව ස්මාරකයට ගුවනින් පුෂ්පෝපහාර දැක්වූයේ හෙලිකොප්ටර් යානා යොදාගනිමිනි.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන් ඇතුළු ආරාධිතයින්  ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, රණවිරුවන් සහ  රණවිරු පවුල්වල සාමාජිකයින් ද රණවිරු ස්මාරකය පාමුල මල්කළඹ තබමින් යුද්ධයේ දී ජීවිතය පූජා කළ රණවිරුවන්ට සිය උත්තමාචාරය පුද කළහ. 

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර රණවිරු සැමරුම පැවැත්විණි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ, වාහන නියාමනයථ බස්රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න යන මහත්වරුන් ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
හමුදා උත්තමාචාර පිදීම වෙනුවෙන් මෙම අවස්ථාවට එක්ව සිටියේ ද සීමිත නිලධාරීන් පිරිසකි.

ඡායාරූප : ජිවන්  චන්දිමාල්, සාගර ලක්මාල් ද මෙල්, උපුල් නිලංග, සුමින්ද කීර්ති - ජනාධිපති මාධ්‍ය අංශය


RECOMMEND POSTS