ගවේෂණාත්මක ජනමාධ්‍ය ජාලයේ ගෝලීය කීර්තිමත් සාමාජිකාව



සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ (ගවේෂණාත්මක) නාමිනි විජේදාස මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍ය ජාලයේ ගෝලීය කීර්තිමත් සාමාජිකයකු ලෙස තේරී පත්ව ඇත.

මෙම කීර්තිමත් සභාවට ශ්‍රී ලංකාවෙන් තේරී පත්වූ දෙවන්නා වන්නේ ද ඇය යි. එම සභාවට මුලින්ම තේරී පත්වූයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ හිටපු ආරක්ෂක වාර්තාකරු සහ වර්තාමනයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ උපදේශක කර්තෘ/දේශපාලන සංස්කාරක ඉක්බාල් අතාස් මහතා ය.

මෙම නව පිරිසත් සමඟ සිය ජාලයේ විශ්වාසනීය ජනමාධ්‍යවේදීන්ගේ ජාලය තවත් ඉහළට ඔසවන බව අලුත් සාමාජික පිරිස නිවේදනය කරමින් ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍ය ජාලය ඉකුත් සතියේ නිවේදනය කළේ ය.

මෙම නව සාමාජික පිරිසත් සමඟ ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍ය ජාලය සාමාජික රටවල් 100ක මාධ්‍ය සාමාජික/සාමාජිකවන් 280 දෙනකුගෙන් සමන්විත වේ. මෙම ජාලයට අප්‍රිකාවේ මාධ්‍යවේදීන්/මාධ්‍යවේදිනියන් සිවුදෙනකු ද සමඟ අලුතෙන් එක් වී ඇති ගණන 13කි.

නාමිනි විජේදාස මහත්මිය සිය ජනමාධ්‍ය වෘත්තිය ආරම්භ කරන ලද්දේ ‘ද අයිලන්ඩ්’ පුවත්පතින් වන අතර ඒ 1994 වසරේ දී ය. ඉන් පසුව ඇය ඩේලිමිරර්  පුවත්පතේ සේවය කළ අතර ‘ඒ.පී. (ඇසෝසියේටඩ් ප්‍රෙස්) පුවත් සේවයේ වාර්තාකාරිනියක ලෙස කටයුතු කළා ය. ඉන් අනතුරුව ඇය ‘සන්ඩේ අයිලන්ඩ්’ සහ ‘ලක්බිම’ නිව්ස් යනාදියේ සේවය කළා ය. ඇය සන්ඩේ ටයිම්ස් පුවත්පතට එක්වූයේ 2012 වසරේ දී ය.

මෙම නව කණ්ඩායම ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍ය ජාලයේ මෑතකාලීන ව්‍යාපෘති කිහිපයකමටම දායකත්වය දක්වා ඇත. ලොවපුරා දූෂණ සහ අක්‍රමිකතා රැසක් හෙළිකළ ‘ෆින්සෙන් ෆයිල්ස් (FinCEN Files), ‘වෙස්ට් ඇෆ්‍රිකා ෆයිල්ස්’ (West Africa Leaks), පැනමා පත්‍රිකා (Panama Papers), ‘ඉම්ප්ලාන්ට් ෆයිල්ස්’ (Implant Files) ඒ අතරින් ප්‍රධාන ය.

අනෙක් රටවල ජනමාධ්‍යවේදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරගැනීම, වාර්තා හුවමාරු කරගැනීම, සිය සොයාගැනීම් හුවමාරු කරගැනීම, ප්‍රකාශන දිනවලට අනුකූල සහ එකඟවීම, අසාධාරණය, අයුකිත්ය, අසමානතා, සහ ජාත්‍යන්තර අපරාධ සහ දූෂණ අනාවරණය කිරීම යනාදිය සම්බන්ධයෙන් ඇති වාර්තා ආදී සියල්ල සලකා බලමින් ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍ය ජාලය මාධ්‍යවේදීන්/වේදිනයක් තෝරාගැනේ.


RECOMMEND POSTS