විදෙස් ඇමැති සහ පොදු රාජ්‍ය මණ්ඩල ලේකම්වරිය හමුවෙයි



මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට උත්සාහ දරන තාවකාලික යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාර්ථවලට අනුකූල නොවන බවත්, එය ලංකාවට පිළිගත නොහැකි බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මියට දැනුම් දුන්නේය.

සංහිඳියාව සම්බන්ධයෙන් මෙරට දේශීය ආයතන ගෙන ඇති පියවර අඛණ්ඩ ක්‍රියාවලියක් වන බවත් , එම  ආයතනවලට තම අණපනත් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන බව විදේශ අමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වන විදේශ අමාත්‍යාංශවරයා නිව්යෝර්ක් හිදී පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සමග අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ හමුවකදී  මෙම කරුණු දැක්වීය.

එම හමුවේදී පොදු රාජ්‍ය මණ්ඩලය මහලේකම්වරිය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදය හා කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සක්‍රීයව කැප වන බවය.

එසේම පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාරධර්ම, මූලධර්ම හා අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන බව විදේශ අමාත්‍යවරයා සිහිපත් කළේය.

මෙහිදි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා හමුවේ අදහස් දැක්වූ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය තමා 2018 සහ 2019 වසරවල දී ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයන් පිළිබඳව ඉතා උණුසුම් ලෙස සිහිපත් කරමින්  ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ පවත්වා ගෙන යන අඛණ්ඩ සමීප සම්බන්ධතාව අගය කළාය.

2019 දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා සත්කාරකත්වය සැපයීම පිළිබඳව ඇය ශ්‍රී ලංකාවට ස්තූති කළ අතර, වෙළඳාම, ක්‍රීඩා කටයුතු, තරුණයින් සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව සටන් කිරීම ඇතුළු පුළුල් පරාසයක කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලය අගය කරන බවද පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය විදේශ අමාත්‍යවරයා හමුවේ  සඳහන් කළාය.

වාණිජ, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ දේශගුණික විපර්යාස ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ තවදුරටත් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත්, කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීමේදී සාර්‍ථක වී ඇති ශ්‍රී ලංකාව, පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්තිය සඳහා නායකත්වය දෙමින් නැඟී සිටින බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව ආහාර සුරක්‍ෂිතතාවයෙන් යුත් කෘෂිකාර්මික නිෂ්පාදනය සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් මෑතකදී “දේශගුණය සහ හරිත ආර්ථිකය” සඳහා මුලපිරූ බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

පොදුරාජ්‍ය මණ්ඩලය යනු එහි සියලුම සාමාජික රටවල් විසින් පොදු අරමුණක් භුක්ති විඳින, එය සුවිශේෂී හා ප්‍රබෝධමත් කරවන විවිධත්වය පිළිබඳ සැමරුමක් වන බවත් , එහි සියලුම සාමාජිකයින් සඳහා පොදු නීතිමය පසුබිමක වාසියක් ඇතත්, ඔවුන් සංවර්ධනයේ විවිධ මාවත් අනුගමනය කර ඇති බව විදේශ අමාත්‍යවරයා සිය කරුණු දැක්වීමේ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයා වෙත පෙන්වා දුන්නේය.

සංහිඳියාව සම්බන්ධයෙන් මෙරට දේශීය ආයතන ගෙන ඇති පියවර පිළිබඳව මහලේකම් ස්කොට්ලන්ඩ් මහත්මිය දැනුවත් කළ විදේශ අමාත්‍යවරයා. මෙය අඛණ්ඩ ක්‍රියාවලියක් වන අතර, ප්‍රාදේශීය ආයතනවලට තම අණපනත් ඉටු කිරීම සඳහා රටට ප්‍රමාණවත් ඉඩකඩක් අවශ්‍ය වන බව කියා සිටියේය.

මෙම ආයතන විසින් සිදුකරනු ලබන කටයුතු බාහිර ආයතන මඟින් ප්‍රතිස්ථාපනය කිරීමට හෝ අත්පත් කර ගැනීමට නොහැකි බවත්, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ස්ථාපිත කිරීමට උත්සාහ දරන තාවකාලික යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාර්ථවලට අනුකූල නොවන බවත් එය ලංකාවට පිළිගත නොහැකි බව ද පොදුරාජ්‍ය මණ්ඩල මහල්කම්වරිය හමුවේ  ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 54 න් එකක් වන අතර, 2013 දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දෙන ලදී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS

RELATED POSTS