ජනපති ජගත් මහ ලේකම් හමුවෙයි



ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.එහිදී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ව උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස් මහතා, 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ සංචාරයන් හා ශ්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකය අවදි කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූ අවස්ථාව පිළිබඳවත් ගුටරේස් මහතා විසින් මෙහිදී සිහිපත් කරනු ලැබිණි.

 වසර 30කට ආසන්න කාලයක් පැවති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව මහ ලේකම්වරයා සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවන වරටත් මහලේකම් ධූරයට පත්වීම පිළිබඳව සිය සුභාශීංසන ඔහු වෙත පිරිනමා ඇත.

කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැනුවත් කර තිබේ. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක්කර ඇත.

මේ වන විට සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරිමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයි සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය. එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මෙහිදී මහ ලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එම තත්ත්වය හමුවේ වුවද වසර 30කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිවරයා සවිස්තරාත්මකව පැහැදිළි කකර තිබේ.

වින්දිතයින්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාතේ කළ විශාල සංවර්ධනය හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කර ඇත.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිවරයා මහ ලේකම්වරයා සමඟ පවසා තිබේ.

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයින් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවත් මහ ලේකම්වරයා සමඟ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමඟ එක්ව කටයුතු කරන ආකාරය ද රාජපක්ෂ මහතා විසින් පැහැදිලි කර ඇත. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සැමවිටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළ ජනාධිපතිවරයා නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත්, ආගමික අන්තවාදය පිළිබඳව රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන්ද සුපරීක්ෂාකාරී විය යුතු බව සඳහන් කර ඇත.


RECOMMEND POSTS