වසංගත සමයේ දිගටම ශ්‍රී ලංකාවට සහාය වෙනවා



මෙම වසංගත සමයේදීත් ඉන් ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට සහාය දීමට කටයුතු කරන බවත් පොරොන්දු වූ පරිදි සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නීතිකාරක කටයුතු සම්බන්ධයෙන් වන කාර්යාංශයේ වැඩබලන සහාය ලේකම්වරිය නාස් දුරාකොග්ලු පවසයි.

ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය සහාය ලබාගැනීමට කඩිනම් පියවර ගන්නැයි ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු වන ඩීනා ටයිටස් මහත්මිය සහ රාජා ක්‍රිෂ්ණමූර්ති මහතා ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන් ට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් යවමින් ඇය ඒ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ තත්ත්වය එන්නම නරක අතට හැරෙමින් තිබෙන බවත් දෛනිකව 3,000ක ඉක්මවමින් නව කොරෝනා වයිරස ආසාදිතයන් ද 100 ඉක්මවමින් නව කොරෝනා වයිරස ආසාදිත මරණ ද වාර්තා වන බවත් ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය අවශ්‍යම මේ මොහොතේ ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ද නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් දෙදෙනා රාජ්‍ය ලේකම්වරයගෙන් ඉල්ලා තිබූ අතර අගෝස්තු 17 දාතම යටතේ එම ලිපිය යොමු කර තිබිණි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නීතිකාරක කටයුතු සම්බන්ධයෙන් වන කාර්යාංශයේ වැඩබලන සහාය ලේකම් නාස් දුරාකොග්ලු සැප්තැම්බර් 2 වැනිදා දාතම යටතේ ඉහත කී පිළිතුරු ලිපිය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් එය ඉතා කනගාටුදායක බවත් ඇමෙරිකා එක්සත් ජනපද රජයේ කාර්යාංශ සමඟ එක්ව රාජ්‍ය දෙපාර්තමේන්තුව වසංගත සමයේදීත් වසංගතයෙන් පසුවත් ශ්‍රී ලංකා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන බව ද නාස් දුරාකොග්ලු සිය ලිපියේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් අවශ්‍යතා සොයා බලා ඒවාට ඇමෙරිකා එක්සත් ජනපදයට සහාය දිය හැක්කේ කෙසේ දැයි සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරන බව ද එම ලිපියේ සඳහන් ය.

ඇමෙරිකා එක්සත් ජනපදය කොවැක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලබා දී ඇතැයි ද, ඊට අමතරව ඔක්සිමීටර, වෙන්ටිලේටර් යනාදී වෛද්‍ය උපකරණ රැසක් ලබා දී ඇතැයි ඒ සියල්ලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 10  ඉක්මවන බව ද එහි දැක්වේ.


RECOMMEND POSTS